සීබ්රා මිතුරන් දෙදෙනා සහ සිංහයා

එකමත් එක කාලෙක සීබ්රාවුන් දෙදෙනෙක් හොඳ ගජ මිතුරන් ලෙස ඈත කැලෑවක ජීවත්වුණා. මේ දෙන්නා පරිසරයේ සුන්දරත්වය, නැවුම් වාතය සහ නිදහස හැම වෙලාවෙ ම භුක්ති වින්දා. දවසක් මේ දෙන්නා ගං ඉවුරක් දිගේ ඇවිදගෙන ආවා.
මේ සීබ්රා මිතුරෝ දෙන්නා වසර ගණනාවක් තිස්සේ තමයි යහළුවෝ විදිහට ඉන්නෙ. නමුත් මේ දෙන්නා සීබ්රා රංචුවේ ඉන්න අනික් අයට වඩා හිතන පතන විදිහ ගොඩක් වෙනස්. ඒ නිසා ම සීබ්රා ජීවන රටාව වෙනස් කිරීමට සහ ලොව වටිනාම සතුට හොයාගෙන යන්න මේ දෙන්නා තීරණය කළා
ගං ඉවුර දිගේ හෙමින්, හෙමින් එන මේ දෙන්නා ගඟ විශාල වංගුවක් සහිතව ගමන් කරන ස්ථානයකට පැමිණෙනවා. ඉතින් මෙයාලට අවශ්‍ය වෙනවා ගඟෙන් එතෙර වෙන්න. එහෙම කලොත් තමයි ගමනේ දුර අඩු වෙන්නෙ.
දැන් ඉතින් දාගෙන ආපු මේස්, සපත්තු එහෙම ගලවලා අතට අරගෙන සීබ්රා යාලුවො දෙන්නා ලෑස්ති වෙන්නේ ගඟෙන් එතෙර වෙන්නයි. එතකොටම කැලෑව අස්සේ ඉඳලා පඳුරු අතරින් සිංහයෙක් එළියට පැන්නා.
“සමාවෙන්න,” සිංහයා ආචාරශීලීව කතා කලා.
“මම වේගයෙන් ගලාගෙන යන ජල ධාරා වලට ගොඩාක් බයයි. ඔයාලගෙන් එක්කෙනෙක්ට පුලුවන් වේවිද මට එගොඩට යන්න උදවු කරන්න?”
මේ වෙලාවෙදි එක් සීබ්‍රාවෙක් කිසිම දෙයක් ගැන හිතන්නෙ නැති ව සහ පැකිලීමකින් තොර ව සිංහයාට උදවු කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් ඌ සිංහයාට කිව්වා තමන්ගේ පිටට නැගලා තදින් අල්ලාගෙන ඉන්න කියලා. ඉතින් ඒ සීබ්රා සිංහයාවත් පිටේ තියාගෙන, එක අතකින් සපත්තු කුට්ටම් එල්ලාගෙන ගඟ හරහා ගමන් කලා. ගඟේ අනික් පැත්තට එනකල් ම ඔවුන් තිදෙනාට කිසිම උපද්‍රවයක් සිදු උනේ නැහැ.
දැන් ඔයාල හිතනවා ඇති බොරු කියලා ගඟ මැදට එක්ක ගිහින් පිට උඩටම වෙලා සිංහයා සිබ්රාව මරාගෙන කන්න ඇති කියලා. නමුත් එහෙම සිද්ධ උනේ නැහැ. අවසානයේ දී සිංහයා සීබ්රාවුන් දෙදෙනාට ස්තූති කරලා කැලේ ඇතුළට ගියා.
.

ටික වෙලාවක් ගියාට පස්සේ එක සීබ්රා යාලුවෙක් කිසිම සතුටකින් නොවන බව අනෙක් යාලුවා දැක්කා. සිංහයාව ගොඩට ගෙනියන්න උදවු නොකරපු සීබ්රා තමයි මේ වෙලාවේ ලොකු කල්පනාවකට වැටිලා ඉන්නේ. ඉතින් ටික දුරක් යද්දි මේ සීබ්රා තමාටම මොනවදෝ කියාගන්නවා. එහෙම නැත්නම් මුමුණනවා.
අවසානයේ සීබ්රා යහලුවා නිශ්ශබ්ධතාවය බිඳ දැම්මා. එයාගෙ හිතේ තිබ්බ ප්රශ්නය දරාගෙන ඉන්න බැරි නිසාමයි අන්තිමේදි තමන්ගෙ යාලුවගෙන් මෙහෙම ඇහුවේ.
“ඇයි ඔයා අර සිංහයාට ඔයාගේ පිට උඩට නගින්න ඉඩ දුන්නේ, ඔයාට පිස්සුද?”, “සිංහයන් උදේ, දවල් සහ රාත්‍රී ආහාරය සඳහා අපිව මරාගෙන කනවා! ඔයා මොනවද කල්පනා කළේ? බැරි වෙලා හරි ගඟ මැද්දෙදි ඌ ඔයාව මරාගෙන කෑවනම් එහෙම..” ඔහු තවත් කෝපයෙන් වගේ කතා කලා.
“සහෝදරයා,” දෙවන සීබ්රා සන්සුන්ව පිළිතුරු දුන්නා.
“ඒ සිද්ධිය සිදු වූයේ සැතපුම් ගණනාවකට කලින්. අපි දෙන්නා දැන් ගොඩක් දුර ඇවිල්ලා. සිංහයාව පිටේ තබාගෙන ගියේත් මමයි , පැයකට විතර ඉස්සෙල්ලා පෙර ඔහුව ගඟේ අනෙක් පැත්තෙන් තිබ්බෙත් මමයි. දැන් අපි දෙන්නා ගොඩක් දුර ඇවිල්ලා.”
“ඉතින් ඇයි යාලුවේ ඔයා තාමත් සිංහයාව හිතේ උස්සගෙන යන්නේ?”