සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

 සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවස වෙත්ම එළාර රජතුමාගේ ද්‍රවිඩ බල සේනාවෝ මහියංගන සෑයේ නිදන් වස්තු කොල්ලකෑමට පැමිණියහ. එතැනින් නොනැවතුන මෙම ද්‍රවිඩ පිරිස “ඡත්ත” නම් ද්‍රවිඩ නායකත්වයෙන් මහියංගනයේ තම බලය පිහිටුවා ගත්හ. දුටුගැමුණු රජතුමා ඡත්ත පලවා හැර මහියංගන නගරය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන්නට විය. මහියංගන සෑය අසු රියනක් උසට ප්‍රතිසංවිධානය කිරිම දුටුගැමුණු රජතුමාගේ අරමුණ විය. මේ කටයුතු වෙනුවෙන් දුටුගැමුණු රජතුමා මහියංගනයේ තාවකාලික මාලිගයක පදිංචිව සිටි අතර බුලත් සපයා ගැනීමේ රාජකාරිය එක්තරා පුරුෂයෙකුට භාර දෙන ලදි. මේ නිසාම එම තැනැත්තාට “බුලතා” යැයි ව්‍යවහාර විය. මේ පුරුෂයා බෙහෙවින් ශක්ති සම්පන්නයි. බුලතාගේ කාර්යය වුනේ දවසකට හත් වතාවක් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් බුලත්විට සාදා පිලිගැන්වීමයි. මෙම බුලත්විට සපයන වේලාවන් වුයේ උදේ ආහාරයෙන් පසුව, දහවල් දස පැයට පසුව, දිවා ආහාරයෙන් පසුව, තේ පානයෙන් පසුව, රාත්‍රි ආහාරයෙන් පසුව සහ රාත්‍රි නිදාගැනීමට පෙර ලෙසින් මෙම බුලත් විට සපයන කාල අන්තරය නියම වී තිබුණි. එක් බුලත් විටක් සපයා අනෙක් බුලත් විට අතරවාර කාලය බුලතා අවට සංචාරයේ යෙදෙමින් ගත කරන්නට පුරුදුව සිටියේය.

පරිසර සංවේදි පුද්ගලයන් බොහොම නිර්මාණශීලී ය. අවට ඇවිදිමින් සිටි බුලතා මහියංගනයට උතුරු දෙසින් පිහිටි අපුරු භු නිර්මාණයක් දුටුවේය. ගල් කඳු දෙකක් අතර පිහිටි පහත්බිම අතරින් විශාල “හද්දත්තා ඔය”ගලා ගෙන ගියේ බෙහෙවින් දර්ශණීය අන්දමින්ය. මේ දෙස බලා සිටි බුලතා එයින් සොබා දහමේ අසිරියෙන් ඔබ්බට ගිය තවත් අපුරු තාක්ෂණයක් පිළිබඳ සිතුවිලි පහල විය.

සොරබොර වැව බුලතා යෝධයා

මෙම කුඩා කඳු වැටි දෙක යා කරමින් වැවක් ඉදි කරන්නට තීරණය කළ බුලතා තමන් ලද කාලය අතරතුර මේ වැවේ ඉදිකිරිම් කටයුතුවල නිරත වුයේය. යම්හෙයකින් මෙම කාර්යය සාර්ථක වුනොත් වැව සහ ගඟ අතර වු කුඹුරු බිම් ගණනාවක් අස්වැද්දීමට හැකි බව බුලතා අනුමාන කළේය. තමන්ගේ කාය ශක්තිය නිසාම මේ කාර්යය බුලතාට එතරම් අපහසු කාර්යක් නොවිය. සාමාන්‍ය මිනිසෙකුට එසවීමට නොහැකි උදැල්ලක් බුලතා යොදා ගත් අතර ඔහු විසින් ගෙනෙ ලද පස් කූඩය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍රමාණයක් ඇති විශාල පස් කූඩයක් විය. මේ අන්දමින් ගෙනෙන ලද පස් ගල් කඳු දෙක අතර තැන්පත් කරමින් පස් පාගමින් තද කොට වැව් වේල්ල ඉදි කරන ලදි.

බුලතාගේ ඊළග කාර්යය වුනේ සොරොව්ව ඉදි කිරිමයි. මේ වෙනුවෙන් බුලතාගේ කටුව සහ මිටිය ආධාර කර ගෙන එක් කෙළවරක ගල් සොරොව්ක්ද, අනෙක් කෙළවර වැඩි ජලය බැස යනු පිනිස ජල පැන්නුමක්ද සාදන ලදි.

මෙම වැවේ “ඉහත්තාව” යනුවෙන් හඳුන්වන ජල පෝෂක ප්‍රදේශය වෙතින් පැමිණෙන ජලය “කුලු වැව” නමින් හඳුන්වන වැව් තුනක් හරහා ගලා යන අතර පළමු වැව පිටාර ගලා දෙවැන්නටත් දෙවැනි වැව පිටාර ගලා තෙවැන්නටත්, තෙවැනි වැව පිටාර ගලා සොරබොර වැවටත් ජලය එක් වේ. කඳු සේදෙමින් එන මඩ “කුළු වැව්” හරහා ගමන් කරන බැවින් සොරබොර වැවට මඩ එක්විම අවම මට්ක පවතී.

සොරබොර වැවේ මඩ සොරොව්ක් නැතැත් මඩ ජලය සොරොව්වෙන් යෙදෙන අදි පීඩනයෙන් බිසෝ කොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යන අතර මෙම මඩ ඇල මාර්ග ඔස්සේ කුඹුරුබිම්වල තැන්පත්ව සරු පොහොරක් ලබා දෙන්නට සමත්ව ඇත.

සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ sorabora wewa 03

රත්රන් හා රසදිය එක්වුනා සේම බුලතාගේ බිරින්දෑද ඔහුට නොදෙවෙනි වුවාය. තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් දවල් බත රැගෙන එන ඇයටත් අපුරු සිතුවිල්ලක් පහල වුනා. “කිරිපට්ටිය” ගමේ සිට ඇය බුලතාට දවල් බත රැගෙන යන අතරත් ගල් කිපයක් ගෙන යන අතර නැවත එන විටත් ගල් කිපයක් රැගෙන එන්නට අමතක නොකලාය. මේ අන්දමින් ගල් පඩි පෙලක් ගොඩ නගන්නට බිරිඳ දරණ උත්සාහය දුටු බුලතා ඇයට සහයෝගය දක්වමින් කඳු මුදුනට විශාල ගල් ගෙනැවිත් දුන්නේය.

අඹු-සැමියන්ගේ සුසංයෝගයෙන් මේ අන්දමින් කටයුත්ත සිද්ධ වුණා. දුටුගැමුනු රජතුමාගේ මහියංගන සෑයේ කටයුතුත් අවසානව කොත පැළඳවීමේ උත්සව සංවිධානය ආරම්භ වුණා. මෙම උත්සවය වෙනුවෙන් රුහුණු පුරයේ සිතුල්පව්ව සහ මාගම්පුර දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා සහ රුහුණු රටේ ජනතාවටත් ආරාධනා කරනු ලැබුවා.

උත්සවය අවසන දුටුගැමුණු රජතුමා ඉදිරියට පැමිණි බුලතා තමා විසින් නිර්මාණය කරන ලද වැවේ සිරිය නරඹන ලෙස රජතුමා ආරාධනා කලේය. රජතුමා නිල්වන් ජලයෙන් බබලන මහා සාගරය බඳු වැව දැක මවිතයට පත් වුවා පමණක් නොව මේ විස්මකර්ම කාර්යය වෙනුවෙන් කී දෙනෙකුගේ සහයෝගය ලබා ගත්තේදැයි විමසා සිටියේය. බුලතා නොපැකිලව මෙසේ කීවේය.

මගේ උදව්වට සිටියේ මිටිය, කටුව, උදැල්ල සහ කූඩය පමණයි. බුලතා නිහතමානිව කියා සිටියේය.

බුලතාගේ යෝධ ශක්තිය පිලිබඳව සතුටට පත් දුටුගැමුණු රජතුමා “දරුවා මෙය ඉතා හර බර කාර්යයක් මතු වාරි කර්මාන්තය වෙනුවෙන් නුඹේ මේ අසහාය කාර්යය පිහිටට සිටින්නේ” යැයි කියා සිටියේය.

සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ dsc00175 copy

දුටුගැමුණු රජතුමා මහියංගනයේ වාසය කරන ලද තාවකාලික මාලිගය හැර දමා රුහුණට යන ගමනේ දී බුලතා සහ බිරින්දෑ කැඳවා ගෙන ගොස් විහාර මහ දේවිය වෙත ඔහුගේ අපූරු නිර්මාණය ගැන දන්වා සිටි අතර විහාරමහා දේවිය එයින් සතුටට පත්ව ගෙල පැළඳ සිටි මුතු මාලය බුලතාගේ බිරින්දෑ ගෙල පැලැන්දු අතර දුටුගැමුණු රජතුමා තම ස්වර්ණමය උර පළඳනාව බුලතාට පිළිගන්වන ලදී. ඊට අමතරව ගම්වරයක් ලබා දී නම්බු නාමයක්ද පිරිනමන ලදී.

මෙම හරබර කර්මාන්තයක්යැයි දුටුගැමුණු රජු පැවසු නිසාම මෙම වැව “හර බර වැව” ලෙසින් ව්‍යවහාරයට පත්ව පසු කලෙක “සොරබොර වැව” ලෙසින් ව්‍යවහාර වන්නට විය.

ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොර බොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ

සොරබොර වැව බුලතා යෝධයා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.