ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම

 ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම

ඉන්දියාව කිව්වම අපි අහල තියෙන විදිහට එතරම් යහපත් රූපයක් මැවෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නගර වල ඇති නිවෙස් හා ගොඩනැඟිලි වල දොරවල් දියුණු තාක්ෂණික ක්‍ර‍ම මඟින් අගුලු දැමීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. එයට හේතුව අධික ලෙස සොරුන් ගැවසීමයි. නමුත් එවැනි තත්ත්වයක් සහිත ඉන්දියාවේම එක් පිටිසර ගමක තියෙන ගෙවල් කිසිවක දොරවල් නැහැ කිව්වොත් ඔබ පුදුම වේවි. මේ ගම්මානය පිහිටා තිබෙන්නෙ මාහාරාෂ්ට්‍ර‍ ප්‍රාන්තයේ, අහමද්නගර් දිස්ත්‍රික්කයේ ය. ඒ ගමේ නම තමයි ශානි සිංග්නපුර් (Shani Shingnapur). ඔව්, මේ ගමේ ගෙවල්වල රෑටවත් දොරවල් වහන්නෙ නෑ.

ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම p03wcl2t

Shani Shingnapur ගම්මානයේ දළ වශයෙන් 4,000 ක පමණ පිරිසක් පදිංචි වී සිටිනවා. ඔවුන්ගේ එකම නිවසකටවත් දොරවල් හෝ අගුලු ඇත්තේ නැහැ.  තියෙන්නෙ උළුවස්ස විතරමයි. මෙයට හේතුව ශනි දේව් (Shani Dev) නමැති හින්දු දෙවියා කෙරෙහි ඔවුන්ගේ පතින නොසැලෙන හා දැවැන්ත විශ්වාසය නිසාය.  ‘ශනි දේව්‘ දෙවියා ශනි හෙවත් සෙනසුරු ග්‍ර‍හලෝකයට අධිපති දෙවියා ලෙස සැළකේ. ගම්වැසියන්ට අනුව ශනි දෙවි විසින් ගම්මානය දෙස බැල්ම හෙළා නපුරු බලවේග වලින් ගම ආරක්ෂා කරන්නේය. ඔවුන්ට අනුව ගමට අහිතකර යමක් සිදු කිරීමට පැමිණෙන ඕනෑම අයෙකුගේ මනස අසමතුලිත භාවයට පත්වී, ඇස් නොපෙනෙන තත්ත්වයකට පත්වී එසේත් නොමැතිනම් දිගු හිසරුදාවක් ඇතිවීමෙන් ක්ෂණිකව දෙවියන්ගෙන් දඬුවම් විඳීමට සිදුවේ. එමෙන්ම එක්තරා ජනප්‍ර‍වාදයකට අනුව එක් වරක් ගම්වැසියෙකු සිය නිවසේ දොරටුව අසල දැවමය තහඩු දැමීමට උත්සාහ කළ අතර ඊළඟ දිනයේ ඔහු මෝටර් රථ අනතුරකින් මිය ගියේය.

ගමේ නිවෙස්වල දොරවල් හෝ අගුලු නොමැතිවීම පසුපස කතාන්දරය

ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම p03wcl4z

ජනප්‍ර‍වාදයට අනුව වසර 400කට පමණ පෙර අධික වැසි හේතුවෙන් පනස්නලා ගඟ (Panasnala River) ඉවුරේ කළු පැහැ ගල් පුවරුවක්  මතුවුණා. එහි පැමිණි ඒ ගමේ වාසය කරන එඬේරෙකු විසින් මෙම ගල් පුවරුව කර තබා ඔසවාගෙන රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. නමුත් එවිට පුදුමය ගෙනදෙන දෙයක් සිදුවිය. ගල් පුවරුවෙන් රුධිරය වැගිරීමට පටන් ගත්තාලු. එම අවස්ථාවේදී එඬේරාට තමන් පෙර දින රාත්‍රියේ දුටු සිහිනය සිහිපත් වුණා. ඒ සිහිනයට අනුව ශීව දෙවිඳුන් විසින් එඬේරා හට පැවසුවේ අදාළ ගල් පුවරුව තමන්ගේ ප්‍ර‍තිමාව බවත්, තමන් වෙනුවෙන් දේව මන්දිරයක් ගොඩනැඟිය හැකිද යන්නයි. එවිට එඬේරා තම සිහිනයේදී ශිව දෙවිඳුන් හට ඒ සම්බන්ධව කැමැත්ත පළ කරා. ඒ අනුව ඔහු සිහිනයෙන් දුටු ගල් පුවරුව සැබෑ ලෙසින්ම ඔහුට එදින හමුවී තිබුණා.

සිහිනයෙන් පෙනී සිටිමින් ශිව දෙවිඳුන් ඔහුට වැඩිදුරටත් පවසා සිටියේ එම ගල් පුවරුව ගම මැද පිහිටවිය යුතු බවත්, එය මැදි කර සෙවණක් හෝ ගොඩනැඟිල්ලක් නොසෑදිය යුතු බවත්ය. ඒ අනුව ශිව දෙවිඳුන් හට ගමේ සියළු තැන් වෙත තම බැල්ම හෙළීමට හැකි බවත් ගමට සිදුවිය හැකි උවදුරු වලින් ගම ආරක්ෂා කළ හැකි බවත් වැඩිදුරටත් පැවසූවා. එයින් පසුව මේ ගමේ කිසිම නිවසක දොරවල් හෝ අගුලු සවි කළේ නැහැ. ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ පවා අනාරක්ෂිත ලෙස නිවෙස් වල තබනු ලැබූවා. එලෙස සිදුවූයේ ඔවුන් විසින් ශීව දෙවියන් කෙරෙහි නොසැලෙන භක්තියෙන් කටයුතු කරන බැවිනි. මේ ගමේ අදටත් ශිව දෙවියන් සේ සැළකෙන ගල් පුවරුව කිසිදු ආවරණයක් නොමැතිව නැඟී සිටිනවා.

ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම p03wcl3k

ගමේ ගෙවල් පමණක්ම නොවෙයි. කඩ සාප්පු, තැපැල් කාර්යාලයට පවා දොරවල් නැහැ. 2011 වර්ෂයේදී Shani Shingnapur ග්‍ර‍ාමයේ UCO බැංකුවේ ශාඛාවක් විවෘත වූයේ ද අගුලු හෝ දොරවල් නොමැතිවයි. ඒ අනුව ලෝකයේ එලෙස පවතින එකම බැංකුවයි. කෙසේ නමුත් ඇත්තටම බැංකුවේ ඇතුල්වීම නිමවා තිබෙන්නෙ වීදුරු යොදාගෙනයි. එම වීදුරු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක විය හැකි සහ එකවර නොපෙනෙන විද්‍යුත් චුම්භක අගුල් වලින් යුක්තයි. එලෙස සිදු කිරීමේ අරමුණ වී ඇත්තේ ගමෙහි පවතින සම්ප්‍ර‍දායික විශ්වාසයන් ආරක්ෂා කිරීමටයි. 2015 වර්ෂයේ පොලිස් ස්ථානයක්ද දොරවල් රහිතව ආරම්භ කළද, එහි නිලධාරීන් හට රාජකාරි සිදු කිරීමට නොමැත්තේ මෙම ගම්මානයේ කිසිදු අපරාධයක් වාර්තා නොවන නිසයි.

එනමුත් වර්තමානයේ දී සමහර ගම්මුන් විසින් දොරවල් සහ අගුලු යොදන නමුත් බොහෝ දෙනෙක් තම පැරණි සංස්කෘතිය රැක ගනිමින් සහ ඒවා විශ්වාස කරමින් කටයුතු කරනවා.

ගෙවල් වලට දොරවල් නැති, හොරු නැති ලෝකයේ එකම ගම p03wcl6d

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply