Pastafarianism – මොකක්ද ස්පැගටි/ නූඩ්ල්ස් ආගම කියන්නේ?

සමාජ මාධ්‍ය වලත් මේ දවස්වල අලුත් ආගමක් ගැන කතිකාවක් සිද්ධ වෙන බව ඔබත් දැකලා ඇති. මේ ආගමට කියන්නෙ ස්පැගටි එහෙම නැත්නම් නූඩ්ල්ස් ආගම කියලා. ඉතින් අද ලිපියෙන් ස්පැගටි ආගම ගැන ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම..
ස්පැගටි/ නූඩ්ල්ස් ආගමේ ඉතිහාසය

මේ ආගම නිර්මාණය කලේ 2005 වර්ෂයේ දී භෞතික විද්‍යා උපාධිධාරියෙක් වන බොබී ඇන්ඩර්සන් කියලා කෙනෙක්. මේ ආගම පටන් අරගන්න හේතු වෙලා තියෙන්නෙ, කැන්සාස් ප්‍රාන්තයේ පාසල් වල මැවුම්වාදය සහ පරිණාමවාදය කියන දෙක ම උගන්වන නිසා මොහු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මැවුම්වාදය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කරන්න කියලා. නීතිය හමුවේ ඔහු එම නඩුවෙන් පරදින තත්ත්වයක් පැවතුණා. නමුත් නඩුව අවසන් දවසේ මොහු අධිකරණයට පැමිණෙන්නේ නූඩ්ල්ස් සකසන භාජනයක් ඔලුවේ නවාගෙනයි. මේ වෙලාවෙ ඔහුට උසාවියට ඇතුල් වීමට අවසර හිමි වෙලා නැහැ. ඉතින් ඔහු උසාවියේ නිලධාරීන්ට කියලා තියෙන්නෙ ඔහු අදහන ආගම අනුව ආගමික ඇඳුමේ කොටසක් නිසා මේ විදිහට සාස්පාන ඔලුවෙ දාගෙන ඉන්න ඕනෙ කියලා. ඉතින් අන්තිමේදී ඒක පිළිගත්ත නිලධාරීන් බොබීට උසාවියට ඇතුල් වෙන්න අවසර දීලා.
මෙන්න මේ සිද්ධිය තමයි පැස්ටෆාරියන් එහෙමත් නැත්නම් ස්පැගටි/ නූඩ්ල්ස් ආගමේ ආරම්භය විදිහට සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව මීට්බෝල්ස් ඇස් දෙකක් තියෙන ස්පැගටි මොන්ස්ටර් කියන කෙනා තමයි මේ ලෝකය මැවීම සිදු කලේ ආදී වශයෙන් අලුත් ආගමක් විදිහට විවිධ දේවල් රචනා කරන්න පටන් අරගත්තට පස්සේ නිරාගමික පිරිස් වැඩි වශයෙන් මේ අදහස් වලට උනන්දුවක් දැක්වූවා. අනතුරුව ස්පැගටි දහම ගැන ශුද්ධ වූ ග්රන්ථයක් (The gospel of the flying spaghetti monster) රචනා කළ බොබී ඇන්ඩර්සන් එහිදී සඳහන් කරන්නේ, ස්පැගටි දෙවියා විසින් ඔහුට මේ දහම ගැන පණිවිඩය ලබා දුන් බවයි.
මේ අතර ස්පැගටි දහම සම්බන්ධව අනුගාමිකයින් පිරිසක් බිහිවෙන අතර පළමු පල්ලියත් ඉදි වෙනවා. මෙහිදී ස්පැගටි දහම නිල වශයෙන් ආගමක් වශයෙන් පිළිගන්නා ලෙස බොබි ඇන්ඩර්සන් විසින් සිදු කළ ඉල්ලීමත් සඳහා රජයේ අනුමැතිය හිමි වෙනවා. එතනින් නොනැවතී ඔහු කැන්සාස් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටිනවා මේ ස්පැගටි දහමත් විෂය නිර්දේශයට ඇතුළත් කරලා උගන්වන්න කියලා. එතකොට බලධාරීන්ට තේරෙනවා ස්පැගටි ආගම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කලොත් ලොකු විහිළුවක් බවට පත් වෙනවා කියලා. ඒ නිසා මැවුම්වාදයට සම්බන්ධ ආගම් විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව බොබී ඇන්ඩර්සන්ගෙ අරමුණ සාර්ථක වෙනවා.

මේ ආගමේ උගන්වන්නෙ මොනා ද?
- මේ ආගම අදහන අය නූඩ්ල්ස් හදන ඇලුමිනියම් භාජනයක් හිස පළඳිනවා.
- ස්පැගටි දෙවියෝ කියන්නේ නූඩ්ල්ස් බෝලයක් සහ මීට්බෝල්ස් ඇස් දෙකක් තියෙන මොන්ස්ටර් කෙනෙක්.
- ස්පැගටි දෙවියෝ දින 05කින් තමයි මේ ලෝකයේ සියලු ම දේවල් මවල තියෙන්නේ. පරිණාමය කියන්නෙ අමූලික බොරුවක්.
- මුහුදු මංකොල්ලකාරයෝ තමයි මුල්ම ස්පැගටි භක්තිකයෝ ලෙස සළකන්නේ. ඒ නිසා ස්පැගටි ආගමිකයින් පයිරේට්ලා වගේ ඇඳුම් පැළඳුම් ඇඳීමට ප්‍රියතාවයක් දක්වනවා.
- ස්පැගටි දෙවියෝ මුලින්ම දිව්‍ය ලෝකයේ තිබුණ ජලය ටික වෙන් කරලා අරගෙන බියර් වෑහෙන ගිණි කන්දක් මැවීම සිදු කලාලු. ඊට පස්සෙ ස්පැගටි දෙවියෝ මේ බියර් ටිකකුත් බීල මත් වෙලා තියෙනවා. ඒ මත්වීම වැඩි වෙච්ච නිසා පෘථිවියේ සාගර වැඩියෙන් සහ ගොඩබිම අඩුවෙන් මැවීම සිදු කරල තියෙන්නෙ. ඒ අතරේ ඊඩ්න් උද්‍යානයේ දී කාන්තාව සහ පුරුෂයාවත් මවලා. පස්සේ දෙවියන්ට බියර් බොන්න අවශ්‍ය නිසා බියර් ගිණි කන්ද ආපහු දිව්‍ය ලෝකෙටම අරන් ගියාලු. ඔන්න ඊට පස්සෙ තමයි ආලෝකය අවශ්‍ය නිසා ඉර හඳ මවල තියෙන්නෙ. මේ මැවීම සිදු කරගෙන යන අතරේ පස්වෙනි දිනයේ දී පෘථිවියට අමතරව තියෙන ග්‍රහලෝක වගේ දේවල් නිර්මාණය කිරීම සඳහා Big Bang එක ඇති කරලා තියෙනවා. ඒ අනුව පස්වෙනි දිනය වෙද්දි සම්පූර්ණ විශ්වයම නිර්මාණය කරල ඉවරයි.
- එතකොට ඩයිනෝසරයෝ, මැමත්ලා වගේ සත්තුන්ගෙ පොසිල එහෙම හම්බවෙන්නෙ කොහොමද කියලා අපිට ගැටලුවක් ඇති වෙනවනේ. ඉතින් විද්‍යාඥයො වගේ ගවේශණය කරන මිනිස්සුන්ව මුලා කරන්න තමයි ස්පැගටි දෙයියො මේ පොසිල වගේ දේවල් පොළව යට හංගලා තියෙන්නෙ.
- ස්පැගටි ආගමට අනුව පොළවේ ගුරුත්වාකර්ශණය කියල දේකුත් නැහැ. ඇත්තටම අපි ගුරුත්වාකර්ශණය විදිහට අත්විඳින්නේ ස්පැගටි දෙවියන්නේ අදෘශ්‍යමාන නූඩ්ල්ස් කෙඳි වර්ගයක් නිසා ඇතිවන සංසිද්ධියක්. පෘථිවියේ සියලුම ක්‍රියාවලි පාලනය වෙන්නේ මේ නූඩ්ල්ස් කෙඳිති මඟිනි.
- මේ ආගමට අනුව නපුරු බලවේග විදිහට ඉන්න නූඩ්ල්ස් මොන්ස්ටර්ස්ලා කැල්කියුලේටර්, පරිගණක වගේ උපකරණ කා දමා විනාශ කරනවා.
- ගෝලීය උණුසුම කියන දේට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නෙ අතීතයේ දී මුහුදු කොල්ලකරුවන්ට විරුද්ධව කටයුතු කරපු නිසා සිදු වෙච්ච ශාපයක් නිසා තමයි ස්පැගටි දෙවියෝ ඇති කරල තියෙන්නේ
ස්පැගටි ආගම නිසා සිදුවෙච්ච සමාජයීය වෙනස්කම්

- රජයෙන් ආගම් සඳහා වෙන් කරන අයවැය යටතේ ස්පැගටි ආගමටත් මූල්‍යාධාර ලැබිලා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව වගේ රටවලත් ශිඝ්‍රයෙන් මේ ආගම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා.
- ස්පැගටි පල්ලි වල විවාහ මංගල උත්සව පවා සිදු වෙන්න පටන් ගන්නවා. බෞතීස්ම කිරීමත් ආරම්භ වෙනවා.
- ආගමික දිනය වන සිකුරාදා දිනය ස්පැගටි ආගම අදහන අය සඳහා රජයේ නිවාඩු දිනයක් බවට පත් වෙලා තිබෙනවා. ආගමික උත්සව සඳහා නිවාඩු ලැබෙනවා.
- නූඩ්ල්ස් හදන සාස්පාන ඔලුවේ දාගෙන රියදුරු බලපත්‍ර ලබා ගැනීමටත් අවසර ලැබිලා තියෙනවා.
- ආගමික කටයුතු වලදී “ආමේන්” යන පදය වෙනුවට “රාමේන්” වශයෙන් ව්‍යවහාර කරනු ලබයි.

මරණින් මතු ජීවිතය
ඔබ යහපත් අයෙක් විදිහට ස්පැගටි ආගම අදහමින් ජීවත් වන අයෙක් නම් ඔබේ මරණින් මතු ජීවිතය දිව්‍යලෝකයේ ගත කිරීමට පුළුවන්. එහිදී ඔබට බෝනස් වශයෙන් බියර් වෑහෙන ගිණි කන්ද සහ සමාජ රෝග නැති කන්‍යාවියන් ඇසුරු කිරීමටත් ලැබෙනවා. හැබැයි ඔබ ස්පැගටි ආගම අදහන්නේ නැති සහ ඒ ආගමට අපහාස කරන කෙනෙක් නම් මරණින් මතු ඔබට ලැබෙන්නේ සමාජ රෝග සහිත වයසක කාන්තාවන් බවයි සඳහන් වෙන්නේ. ඊට අමතරව බියර් හම්බෙන්නෙත් නැහැ.
ඇත්තටම දැන් ඔබටත් වැටහෙනවා ඇති මේක ආගමක් කිවුවට ඇත්තටම මැවුම්වාදී ආගම් හාස්‍යයට ලක් කිරීම සඳහා නිර්මාණය කරපු ප්‍රබන්ධයක් බව. ඒ මොනා උනත් පවතින ආගමකට විහිළු කිරීම නම් අනුමත කරන්න බැහැ කියලයි මට නම් හිතෙන්නේ.
තවත් මේ වගේම පිරිසක් ගැන පහත ලිපියත් කියවලා බලන්න. මේ ගැන යාලුවන් දැනුවත් කරන්නත් එක්ක, අමතක නොකර ශෙයා කරන්න.