ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන

     ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන

    පහුගිය කාලයේ ‘අයියෝ‘ කියන සිංහල වචනය ‘Aiyo‘ වශයෙන් ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ නවතම සංස්කරණයේ ඇතුළත් වෙමින් ජාත්‍යන්තරයට යාම පිළිබඳව බොහෝ දෙනෙක් කතා වුණා. නමුත් අයියෝ වචනය මුලින්ම ඔක්ස්ෆර්ඩ් එකට ඇතුළත් වෙලා වගේ අදහසක් බොහෝ දෙනෙක්ට මේ නිසා ඇතිවෙන්න ඇති. මොකක්හරි කමක් නෑ සිංහල භාෂාව නිසා ඉංග්‍රීසි භාෂාව පෝෂණය වෙනවා කියලා අහද්දි අභිමානයකුත් හිතට දැනෙනවනේ..

    ඉතින් මේ විදිහට අයියෝ කියන වචනෙ විතරමද ජාත්‍යන්තරේට ගියේ? මෙන්න මේ ප්‍ර‍ශ්නයත් එක්ක ඇතිවෙච්ච කුතුහලයක් ඔබටත් ඇති උනානම් ඒ සඳහා පිළිතුරක් ලබා දීමක් වශයෙන් මේ ලිපිය ලියන්න හිතුවා. එහෙනම් අපි බලමු ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ සඳහන්ව තිබෙන ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වූ සිංහල වචන මොනවාද කියලා.

    ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂය වසර 150ක් පමණ පැරණි සහ මේ වන විට වචන ලක්ෂ 6ක් පමණ අඩංගු ඉතා ප්‍රසිද්ධ පොතක් ලෙසයි සැළකෙන්නේ.

    1. Aiyo

    ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන AI6

    මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නෙ මේ වචනෙ ගැනනේ. ඉතින් ඔන්න ඒකෙන්ම පටන් ගත්තා. ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවේ භාවිතා වන මේ වචනයෙන් සිංහල භාෂාවෙදි වගේම ඉංග්‍රීසි භාෂාවෙදිත් අදහස් වෙන්නෙ කරදරයක් ඇතිවීම, කණගාටුව, පශ්චත්තාපය හෝ ශෝකය පළ කිරීම වගේ අවස්ථාවක් සම්බන්ධවයි. මේ වචනය මුලින්ම ඉංග්‍රීසි ලේඛනයක සඳහන් වෙලා තියෙන්නේ 19 වන සියවසේ අග භාගයේදී ලියවී ඇති Chambers’s Journal of Popular Literature කියන පොතේ කියලයි ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ දක්වා තිබෙන්නේ.

    https://en.oxforddictionaries.com/definition/us/aiyo

    2. Aiya

    වැඩිහිටි සහෝදරයෙකු හෝ වැඩිහිටි පිරිමි කෙනෙකු ඇමතීමට, එහෙමත් නැත්නම් ගෞරවාන්විතව ආමන්ත්‍ර‍ණය කිරීම සඳහා අයියා කියන වචනය අපි භාවිතා කරනවා. ඉංග්‍රීසි භාෂාවෙදිත් ඒක වෙනසක් නැහැ. 20 වන සියවසට පෙර යුගයේ සිටි ලෙනාඩ් වුල්ෆ් (1880-1969) කියන කතුවරයාගේ පොත්පත් වල අයියා කියන වචනය සඳහන් වීම තමයි ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂය ඉංග්‍රීසි භාෂාවට Aiya වචනය ලබා ගන්න හේතු වෙලා තියෙන්නෙ. Brother කියන ඉංග්‍රීසි වචනයෙන් ලැබෙන වැඩිහිටි සහෝදරයෙක් කියන ගෞරවයට සමානව අයියා ලෙස ඇමතීම ගෞරවණීය බවක් ලැබෙනවාලු.

    https://en.oxforddictionaries.com/definition/us/aiya

    3. Bo tree / Bodhi Tree

    ඔක්ස්ෆර්ඩ්

    අප කවුරුත් දන්නා පරිදි සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබා ගැනීමේදී උපකාරී වූ පූජනීය වෘක්ෂය බෝ ගස නමින් හඳුන්වනවා. එය බෞද්ධයන්ගේ පූජනීය සංකේතයක් වෙනවා. බෝ ගස, බෝධි වෘක්ෂය යන සිංහල වචන අනුසාරයෙන් bo tree/ bodhi tree යන වචන ඉංග්‍රීසි භාෂාවට එක් වී තිබෙනවා.

    https://en.oxforddictionaries.com/definition/us/bo_tree

    4. Anaconda

    ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන 3 4 1024x768 1

    ඇනකොන්ඩා නමැති සත්ත්වයා අපේ රටේ ජීවත්ව නොසිටියත්, චිත්‍ර‍පටි හා ටෙලිනාට්‍ය අනුසාරයෙන් අපි හැමෝම දන්නා ජීවියෙක් බවට පත්වෙලා තිබෙනවා. ඇනකොන්ඩා ජීවත් වෙන්නේ දකුණු ඇමෙරිකාවේ නිවර්තන කලාපීය ඇමසන් වනාන්තරය වැනි ප්‍රදේශවලයි. ඇනකොන්ඩා කියන්නේ මිනිසුන්ව ගොදුරු කර ගන්නා අති බියකරු, නපුරු, යෝධ පිඹුරු විශේෂයක් නොවේ. ඒත් හොලිවුඞ් සිනමාකරුවන් නම් ඇනකොන්ඩාවන් රිදී තිරයට ගෙනාවේ මිනිසුන් බිය ගන්වමින් ගොදුරු කර ගන්නා නපුරන් ලෙසයි.

    ඇනකොන්ඩා නම් වචනය ඉංග්‍රීසි භාෂාවට එකතු වී තිබෙන්නේ සිංහල භාෂාවේ සිටින “හෙනකඳයා“ නම් සත්ත්වයෙකු නිසයි. ඒ බව ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ සඳහන් වී තිබෙනවා.

    https://en.oxforddictionaries.com/definition/us/anaconda

    5. Pothos

    ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන 81m0IBljM L. AC SL1500

    මේ වචනය අපිට එච්චර හුරුපුරුදු ඉංග්‍රීසි වචනයක් නොවුණාට මේ වචනයට මූලාශ්‍ර‍ වෙලා තියෙන්නෙ පෝටා වැල නම් ලංකාවේ හටගන්නා ශාක විශේෂයයි. පෝටා වැල ඉතාම ශක්තිමත් කෙඳි වලින් යුක්තයි. කැඩුම් බිඳුම් වෙදකමට, පිස්සු බලු රෝගයට, සර්ප විෂ, අක්මා රෝග, ඇදුම වැනි රෝගාබාධ සඳහා දේශීය වෙදකමේ භාවිතා වෙනවා.

    https://en.oxforddictionaries.com/definition/us/pothos

    6. Pansala

    බෞද්ධයින් වන්දනාමාන කටයුතු සිදු කරන ස්ථානය හඳුන්වන පන්සල කියන වචනයත් ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ අඩංගු වෙලා තිබෙනවා ඔබට දැකගන්න පුළුවන්.

    https://en.oxforddictionaries.com/definition/us/pansala

    7. Nelumbo

    ජලජ ශාකයක් වන නෙළුම් ශාකයේ මල සිංහල සංස්කෘතිය තුළ වැදගත්කමක් ගන්නා සළකුණක් ලෙස සැළකිය හැකියි. සිංහල බසින් “නෙළුම“ යන්න මෙලෙස ඉංග්‍රීසි බසින් Nelumbo ලෙස සකස් වී තිබෙනවා.

    https://en.oxforddictionaries.com/definition/us/nelumbo

    8. Wanderoo

    සිංහල බසින් “වඳුරා“ යන වදන ඉංග්‍රීසි බසට එක්වී තිබෙන්නේ මේ විදිහටයි.

    https://en.oxforddictionaries.com/definition/us/wanderoo

    9. Tourmaline

    තෝරමල්ලි ඔක්ස්ෆර්ඩ් සිංහල

    මෙය සාමාන්‍යයෙන් කළු හෝ විවිධ අලංකාර වර්ණයන්ගෙන් සමන්විත ප්‍රිස්මාකාර හැඩැති පාෂාණ විශේෂයක්. සිංහල භාෂාවෙන් මේවා හැඳින්වෙන්නේ “තෝරමල්ලි“ නමිනුයි. තෝරමල්ලි කියන වචන ආශ්‍ර‍ය කරගෙන තමයි Tourmaline වචනෙ ඉංග්‍රීසි භාෂාවට දායාද වෙලා තියෙන්නෙ.

    https://en.oxforddictionaries.com/definition/us/tourmaline

    10. Aswaddumization/ Aswaddumize

    ඔක්ස්ෆර්ඩ් එකෙන් ජාත්‍යන්තරයට ගිය සිංහල වචන 483918904ec289c4099ecb9475c17d7ae4dfef83

    මේ වචනය නම් තවම ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ සඳහන් නොවුණත් ඉංග්‍රීසි භාෂාවට දායාද වූ තවත් සිංහල වචනයක් විදිහට හඳුනාගන්න පුළුවන්. ‘අස්වැද්දීම’ කියන සිංහල වචනය දන්නෙ නැත්නම් ඉතින් වැඩක්ම නෑ. අස්වද්දනවා කියන්නෙ පුරන් වෙච්ච කුඹුරක් ආපහු වගා කරන්න පටන් ගන්නවා කියන එකනේ. ඒ අනුව Aswaddumization කියන වචනෙ Cultivation කියන වචනෙට සමානයි කියන්න පුළුවනි. මේ වචනය ගැන සඳහනක් Encyclopedia of Sri Lanka ග්‍රන්ථයේ සඳහන් වෙලා තිබුණා.

    දැනට හොයාගන්න පුළුවන් වුණේ මේ වචන ටික තමයි. වචනයේ පහළින් දීලා තියෙන සබැඳුමෙන් ගියාම ඔක්ස්ෆර්ඩ් ශබ්ධකෝෂයේ අදාළ වචනය විස්තර කරලා තියෙන විදිහ බලාගන්න පුළුවන්.

    ඒ වගේම ඔයාලා දන්න මේ වගේ තවත් වචන තියෙනවානම් ඒ ගැන අපිව දැනුවත් කරන්න. ඒවත් මේ ලිපියට ඇතුළත් කරන්න පුළුවන්.

    ලක්මිණ ජයමාල්

    https://edutalk.lk

    එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

    මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

    Leave a Reply