රට රටවල අලුත් අවුරුදු සමරන්නේ මෙහෙමයි.

සම්මත දින දර්ශනයට අනුව ජනවාරි පළමු වැනි දින සමග එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ලෝකයම සතුටට පත්ව එය උත්සවාකාරයෙන් සමරනු ලබනවා. අවුරුද්ද මුල් කර ගෙන උත්සව සැමරීම බැබිලෝනියන්වරුන්ගේ සිරිතක්ව පැවැතුනා. ඔවුන් තමන්ගේ අවුරුද්ද සමරනු ලැබුවේ නයිල් ගංගාව පිටාර ගලන කාලයටයි. ”ඒමන් “දෙවියන් මුල් කර ගෙන ඊජිප්තු වැසියන් පුද පූජා පවත්වනු ලැබුවා.

ඊජිප්තුවේ ජනවාරි පළමු වැනි දින නිවාඩු දිනයක් විදිහට සැලකෙනවා. චන්ද්‍රයාගේ දර්ශනය අනුව අලුත් අවුරුද්ද ප්‍රකාශයට පත් කරන නිසා කයිරෝ නුවර පිහිටි මුහමුද් අලි පල්ලියෙන් මේ පණිවිඩය මුදා හරින්නට පුද්ගලයෙක් රඳවා තබනවා. ඔහු චන්ද්‍රයාගේ දර්ශනය ආගමික නායකයන්ට දැනුම් දෙනවා. එවිට පල්ලිය අසල සිටින පිරිස ඔවුනොවුන්ට සුබපතා ගන්නවා. එදිනට මේ පිරිස වෙනදා වගේ කළු ඇදුම් අඳින්නේ නැහැ. ඒ වෙනුවට වර්ණවත් ඇඳුම් ඇඳගෙන පල්ලිය අසල ගැවසෙනවා. මේ වෙලාවේ පිරිමි දරුවන් වෙනුවෙන් අශ්ව හැඩ රුව තිබෙන කැවිලි වලින් සංග්‍රහ කරනවා.

රෝම ජාතිකයන් අවුරුද්ද සමරන්නේ මාර්තු මාසයේදියි. තමන්ගේ නිවස ඉතා විසිතුරු විදිහට සරසා තබනවා. එදාට නිවසට එන අයටත් තෑගි බෝග ලැබෙනවා. රෝමයේ අවුරුදු දිනය කලින් කලට වෙනස් වීම්වලට භාජනය වුණා. ක්‍රි. පු 153 දී රෝමයේ සෙනට් සභාව විසින් ජනවාරි පළමු වැනි දින අවුරුදු දිනය විදිහට සළකනු ලැබුවා. ක්‍රි.ව 487 දි ජනවාරි පළමු වැනි දින අවුරුද්දේ ආරම්භක දිනය විදිහට සැලකීම වෙනසක් වුනේ නැහැ. මුල් කාලයේදි කිතුණු බැතිමතුන් අතර මේ ගැන එතරම් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් ජේසු බිළින්දාගේ බෞතිස්මය යෙදුන ජනවාරි පළමු වැනි දින අවුරුද්දේ ආරම්භය විදිහට සලකන්න බාධාවක් වුනේ නැහැ.

ජුලියස් සීසර් විසින් මාස දොළහක දින දර්ශනය හඳුන්වා දීමත් සමග නව අවුරුද්ද ආගමික මුහුණුවරක් ගෙන ඇත. කැලිෆෝනියානුවන් දොඩම් වගාව සරු වී යහපත් අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් ජනවාරි පළමුවැනි දින රෝසමල් පෙරහැරක් පවත්වනවා. ග්‍රීක ජාතිකයන් කුඩා දරුවන් මල්වලින් සරසා ගෙන පෙරහරක් පවත්වන අතර ඊජිප්තු වැසියන්ද මෙය අනුගමනය කරන්න පටන් ගත්තා.

ඕලන්ද වැසියන් අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩෝනට් පිළියෙළ කරනවා. එහි තිබෙන කෙළවරක් නැති රවුම වගේ සියල්ල යහපත්ව සිදු වෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.ඇමරිකානු වැසියන් කලු මෑ ඇට ආහාරයට ගන්නා අතර එය සුබ ඵල වෙනුවෙන් හේතු වෙනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. ගෝවා ආහාරයට ගැනීමෙන් මුදල් ලැබෙනු ඇතැයිද ඔවුන් අතර විශ්වාසයක් තිබෙනවා.
චීන ජාතිකයන් සූර්ය දින දර්ශනයට පරිවර්තනය වූහ. ඔවුන්ගේ අවුරුද්ද ජනවාරි විසි වැනි දින පටන් පෙබරවාරි විසි වැනි දින තෙක් පැවැත්වෙනවා. රතු පැහැති කවරවල දමා මුදල් තෑගි හුවමාරු කර ගන්නවා. අවුරුද්දේ අසුබ එයින් දුරු වෙනු ඇතැයි චීන ජාතිකයන්ගේ විශ්වාසයයි. නිවස සෝදා පිරිසිදු කොට ඉතා අලංකාර ලෙසින් සැරසී මකර රුව සහිත සැරසිලි වලින් වීදි අලංකාර කරන අතර එම වීදි වල ඔවුන් ගමනේ යෙදෙති.

බ්රසිලයේ ජනතාව නව වසරේදී තමන්ගේ නිවසට එන උදවියට රනිල බෝගයන්ගෙන් සාදන ලද සුප් සහ බත් ලබා දෙනවා. ජලයට අධිපති දෙවඟන ලෙසින් සැලකෙන ”යෙමන්ජා” පිදීමත් මේ කාලයේ සිද්ධ වෙනවා. මල් , ඉටිපන්දම් සහ ආභරණ යොදා සරසන ලද බෝට්ටුවක් මුහදු තීරයේ සිට මුහුදට පා කරනවා.
එංගලන්තයේ ජනතාව අලුත් අවුරුද්දට ගෙදරට එන අයට සංග්‍රහ කරනවා. නිසට එන අය අනුව සුබ අසුබ තීරණය වෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පසුව පිරිමියෙක් පැමිණයොත් එය සුබ ලෙසටත් කාන්තාවක් පැමිණියොත් දුකක් ලෙසත් සැලකෙනවා. මේ අයගේ කෙස් රතු හෝ දුඹුරු පැහැති නම් එයත් අසුබ නිමිත්තක්. නිවසට ගෙනෙන දේ අතර පාන්, මුදල් සහ ගල්අඟුරු තිබුනොත් එයත් සුබ විදිහට සැලකෙනවා.

ඉන්දියාවේ හින්දු ජනතාව අතර නව වසර පිලිගැනීමට රතු, දම් , සුදු මල් පැළඳ ගෙන සිටිනවා. ඔවුන් ආහාර බන්දේසියක් පිළියෙළ කරන අතර උදේ වෙන තෙක් එය දරුවන්ට බලන්න අවසර නැහැ.