ජාතික ඉන්ධන අවසරපත – National Fuel Pass ගැන දැවෙන ප්‍රශ්න 20 ක ට පිළිතුරු

 ජාතික ඉන්ධන අවසරපත – National Fuel Pass ගැන දැවෙන ප්‍රශ්න 20 ක ට පිළිතුරු

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා උත්සාහ දරණ ඔබට තවමත් එය ලබා ගැනීමට නොහැකි වන්නට ඇති. එහි දී ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදු වූවා විය හැකියි. එම නිසා ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වීමේ දී පොදුවේ ඇති විය හැකි ගැටලු සඳහා විසඳුම් මෙම ලිපිය මඟින් ඔබ වෙත ලබා දීමට අපේක්ෂා කරනවා.

  1. මං ලියාපදිංචි වෙන්න ගියාම ඒක ටිකක් වෙනස් වගේ දැනෙනවා – රජය විසින් නිකුත් කරන ලද ජාතික ඉන්ධන අවසර පත්‍රය සම්බන්ධ වෙබ් අඩවියට සමගාමීව ඔබේ පෞද්ගලික තොරතුරු සොරකම් කරගෙන විවිධ අකටයුතුකම් කිරීමේ අරමුණ සහිතව නිර්මාණය කරන ලද විවිධ ව්‍යාජ ඇප් සහ වෙබ් අඩවි රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක වීම සහ එම සබැඳී සමාජ මාධය හරහා සංසරණය වන බැවින් අතිශයින් ම පරීක්ෂාකාරී වන්න. සමහරවිට ඔබේ පෞද්ගලික තොරතුරු යොදාගෙන වෙනත් අයෙක් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වීම හෝ ඔබේ නමින් වෙනත් අයථා කාර්යයක නිරත වීම සිදු විය හැකියි. එබැවින් ලියාපදිංචි වීම සඳහා නිල සබැඳිය වන්නේ https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය පමණක්ම වේ.
  2. චැසි අංකය වැරදියි? – ඔබේ වාහනයේ චැසි අංකය ඇතුළත් කිරීමේ දී මෝටර් රථ ලියාපදිංචි සහතිකයේ, ඒ කියන්නෙ වාහනයේ පොතේ සඳහන් වෙලා තියෙන විදිහට චැසි අංකය ඇතුළත් කරන්න. කැපිටල්-සිම්පල් අකුරු ගැන සැළකිලිමත් වෙන්න. අතින් ලියපු ලියාපදිංචි සහතිකයක් තියෙනවා නම්, බින්දුව/ඕ අක්ෂරය වගේ පැටලීමක් සිදු විය හැකි අක්ෂර පිළිබඳ අවධානය යොමු කරන්න.
  3. වාහනයේ අංකය සහ චැසි අංකය නොගැලපෙනවා කියනවානෙ? – සමහරවිට ඉහත ආකාරයට අක්ෂර පැටලවීමක් සිදු වෙලා වෙන්නත් පුලුවනි. එහෙම නැත්නම් අතින් ලියපු වාහන පොත් වල තොරතුරු තවම පද්ධතියට ඇතුළත් වෙලා නැතුව ඇති.
  4. වාහනයේ අංකය ඇතුළත් කරන්නේ කොහොමද? – වාහන අංකයේ පළාත සඳහන් වන අක්ෂර දෙක මෙහි දී නොසළකා හැරීම සිදු කරන්න. මීළඟට ඇති ඉංග්‍රීසි අක්ෂර දෙක හෝ තුන පළමු කොටුවටත්, ඉලක්කම් 04 දෙවන කොටුවටත් ඇතුළත් කරන්න. ඔබේ වාහන අංකය ඩෑෂ්(-) හෝ “ශ්‍රී” ඇතුළත් අංකයක් නම් ඒවා නොසලකා හරිමින් අංක පමණක් කොටු දෙකට ඇතුළත් කරන්න.
  5. වාහන කිහිපයක් තියෙනවානම් ලියාපදිංචි වෙන්නේ කොහොමද? අදාළ වෙබ් අඩවියේ සඳහන් ආකාරයට ඔබගේ ජාතික හැඳුනුම්පත් සහ දුරකථන අංකය යොදාගෙන ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි. නමුත් ඔබ සතුව වාහන දෙකක් හෝ කිහිපයක් ඇත්නම් ලියාපදිංචි කිරීමේ දී ගැටලුවක් ඇති වෙනවා. ඒකට විසඳුම තමයි ඔබේ පවුලේ වෙනත් අයෙකුගේ ජාතික හැඳුනුම්පත හා දුරකථන අංකයක් යටතේ ලියාපදිංචිය සිදු කිරීම. වෙබ් අඩවියේ සඳහන් වෙන ආකාරයට ඔබට අයිති වාහනය ඉන්ධන ලබා ගැනීම සඳහා ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේම ලියාපදිංචි කිරීම අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා වාහනයේ අංකය සහ චැසි අංකය ගැලපීම ප්‍රමාණවත්. ඒ අනුව ඕනෑම අයෙකුට ඔබේ වාහනයට පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්න පුළුවනි. (පවුලේ ජාතික හැඳුනුම්පත් සහිත සාමාජිකයින් ගණනට වඩා වාහන තියෙනවා නම් තමන්ට කියලා වාහනයක් නැති යාලුවො ටිකක්වත් හොයාගන්න වේවි නේද?)
  6. මගේ ආයතනයට වාහන ගොඩක් තියෙනවා. ලියාපදිංචි කරන්නෙ කොහොමද? – වාහන කිහිපයක් සහිත සමාගම්/ ආයතන හෝ රජයේ වාහන සඳහා මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි කිරීමට ඉදිරියේ දී ක්‍රමවේදයක් සකසන බව තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නෙ දැනට බැහැ කියන එකයි.
  7. සලාක ක්‍රමයකට දෙනවනම් මගේ වාහනයට කොපමණ ඉන්ධන ප්‍රමාණයක් ලැබෙනවාද? – සතියකට ඔබේ වාහනයට ලැබෙන ඉන්ධන ලීටර් ගණන ලියාපදිංචි වීමෙන් පසුව වෙබ් අඩවියේ පෙන්නුම් කරනවා. ඊට අමතරව ඔබේ සලාකයෙන් ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව තව දුරටත් ලබා ගැනීමට ඉතිරි ඉන්ධන ලීටර් ප්‍රමාණයත් පෙන්නුම් කරනවා. ඔබේ වාහන වර්ගය අනුව ලබා දෙන ඉන්ධන ලීටර් ගණන පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දේවි. ඒ නිසා ලියාපදිංචි වෙලා කවදහරි මේ ඇප් එක භාවිතයෙන් ඉන්ධන නිකුත් කරන්න පටන් ගන්නකල් බලාගෙන ඉන්නයි තියෙන්නෙ.
  8. ලියාපදිංචි වුණාට පස්සෙ ආපහු ඉන්ධන ප්‍රමාණය සහ QR කේතය බලාගන්නෙ කොහොමද? ඒ සඳහා Login බොත්තම පාවිච්චි කරන්න. එතනදි ඔබේ ජංගම දුරකථන අංකය ලබා දුන් පසුව ඒකට OTP කේතයක් ලැබෙනවා. ඒක ඇතුළත් කළාම ඔබේ ගිණුමට අදාළ තොරතුරු දැකබලා ගන්න පුළුවන්.
  9. මට මේ වෙබ් අඩවියට ගිහින් බලාගන්න පුළුවන් දේවල් මොනවද? – ඔබේ වාහනයට සතියකට ලැබෙන ඉන්ධන සලාකය ලීටර් ගණන, දැනට පිරවුම්හලෙන් ලබාගෙන ඇති ඉන්ධන ප්‍රමාණය, අදාළ සලාකය කල් ඉකුත් වන දිනය (මේ අනුව ඔබට මේ සතිය සඳහා ලීටර් 10 ක් ලැබෙනවා යැයි සිතමු. එයින් ඔබ ලීටර් 5ක් ලබා ගෙන ඇත්නම්, ඉතිරි ලීටර් 05 ලබන සතියේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. හරියට ඩේටා කාඩ් එකක් දාගෙන පාවිච්චි නොකර හිටියත් අදාළ දින ගණනින් පස්සෙ කල් ඉකුත් වෙනවා වගේ.)
  10. ස්මාර්ට් ෆෝන් එකක්/ පරිගණකයක් නැත්නම් ලියාපදිංචි වෙන්නෙ කොහොමද? තමන්ට දුරකථනයක් හෝ පරිගණකයක් වැනි උපකරණයක් නැති උනත් ඉන්ධන ලබා ගන්න අවශ්‍ය නම් ලියාපදිංචි වෙන්නම සිදු වෙනවා. මේ සඳහා කොමියුනිකේෂන් ආයතනයක් වැනි ස්ථානයකින් යම් මුදලක් ගෙවා සේවාව ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. නමුත් මෙහි දී ඔබේ තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත ලබා දීමට සිදු වන නිසා ඒ පිළිබඳ සැළකිලිමත් වෙමින් විශ්වාසවන්ත අයෙකුගේ හෝ ආයතනයක සේවය ලබා ගැනීමට කටයුතු කරන්න. ඉන්ධන ලබා ගැනීමේ දී පිරවුම්හලට පෙන්වීම සඳහා QR කේතය මුද්‍රණය කර ලබා ගැනීමටත් අමතක නොකරන්න.
  11. මට ස්මාර්ට් ෆෝන් එකක් නැතිව ඉන්ධන සලාකය දැනගන්නෙ කොහොමද? – කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබේ ඉන්ධන සලාකය පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ සඳහා FUEL BAL ABC 1234 ලෙස සඳහන් කර 076-66220000 අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ABC 1234 කියන තැනට ඔබේ වාහනයේ අංකය ඇතුළත් කරන්න.
  12. තොරතුරු ඇතුළත් කරද්දි වැරදුනොත් ආපහු නිවැරදි කරගන්නෙ කොහොමද? දැනට ඔබේ තොරතුරු සංශෝධනය කිරීම සඳහා පහසුකම් ලබා දී නොමැති බැවින් තොරතුරු ඇතුළත් කිරීමේදී පරීක්ෂාකාරී වන්න.
  13. මගේ QR කේතය කොච්චර ලොකුවට මුද්‍රණය කරගන්න ඕනෙද? ජාතික ඉන්ධන අවසරපත සඳහා ඔබට ලැබෙන කේතය ඔබේ පසුම්බියේ දමාගෙන යා හැකි ප්‍රමාණයට තීබීම පුමාණවත්. ඒ4 කඩදාසියක මුද්‍රණය කළත් හැඳුනුම්පතක ප්‍රමාණයට මුද්‍රණය කරගත්තත් සමාන විදිහට ක්‍රයාත්මක වෙනවා.
  14. දැනටමත් මගේ ජාතික හැඳුනුම්පත් අංකය ලියාපදිංචි බවට පණිවිඩයක් ලැබෙනවා – සමහරවිට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන වෙනත් අයෙක් ලියාපදිංචි වෙලා වෙන්නත් පුළුවනි. මේ සම්බන්ධව 1919 අංකයට දුරකථන ඇමතුමක් ලබා ගෙන විමසන්න වේවි.
  15. මගේ ජෙනරේටරයට/ වතුර මෝටරයට/ තණකොළ කපන යන්ත්‍රයට ඉන්ධන ලබා ගන්නෙ කොහොමද? දැනට මේ සම්බන්ධව කිසිදු තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ.
  16. මම ඉන්ධන ගත්තට පස්සෙ මගේ සලාකය යාවත්කාලීන වෙන්නෙ කොහොමද? ඔබ ඉන්ධන මිලදී ගත්තාට පස්සෙ පිරවුම්හලේ සේවකයෙකු හෝ ඒ ස්ථානයේ වෙනත් වගකිවයුතු පුද්ගයෙකු විසින් ඔබ මිලදී ගත් ලීටර් ප්‍රමාණය ඇතුළත් කිරීම සිදු කරනවා. ඔබේ සතියට අදාළ ඉන්ධන සලාකය ලීටර් 05 ක් සහ ඔබ මිලදී ගත්තේ ලීටර් 03ක් නම්, එය සඳහන් කෙරෙනවා. නමුත් පිරවුම්හලේ සේවකයා විසින් වැරදීමකින් ලීටර් 05 ලෙස ම ඇතුළත් කලොත්, ඔබට තවදුරටත් ලබා ගැනීමට අවස්ථාව තිබූ ඉතිරි ලීටර් 02 අහිමි වී යාවි.
  17. ලංකාව කියන රටේ QR කේතය ඇස් දෙකෙන් ස්කෑන් කරලා ඉන්ධන ගැහුවොත් එහෙම? ඉන්ධන හලේ සේවක මහත්මයාගේ හැකියාව විශිෂ්ට වීම මත ඔහුගේ ජංගම දුරකථනය වෙනුවට ඇස් වලින් ස්කෑන් කරලා ඉන්ධන ලබා දීම සිදු වෙන්න බැරි කමකුත් නැහැ.
  18. මගේ QR කේතය නැති උනොත් මොකද කරන්නෙ? නැවත වෙබ් අඩවියට ගිහින් Login උනාම ඔබේ කේතය නැවත ලබා ගන්න පුළුවනි.
  19. මං වැරදිලා පෙට්‍රල් වාහනයට ඩීසල් කියලා ලියාපදිංචි උනේ – දැනට සංශෝධන කිරීමේ පහසුකම නොමැති නිසා වැරදිලා තියෙනවනම් කරන්න දෙයක් නැහැ.
  20. ලියාපදිංචි වෙද්දි තොරතුරු ඇතුළත් උනේ බාගෙට. දැන් සම්පූර්ණ කරගන්න බැහැ. – අන්තර්ජාල සම්බන්ධතාවය අවහිර වීම, දත්ත ඇතුළත් කරමින් සිටියදී චැසි අංකය වගේ තොරතුරු සෙවීමට යාම ආදී හේතු නිසා ලියාපදිංචිය සම්පූර්ණ නොවී අදාළ පිටුවෙන් ඉවත් වීමට සිදු උනොත්, නැවත ලියාපදිංචි වීමට යාමේ දී දෝෂයක් පෙන්නුම් කළ හැකියි. ඉතින් බාගෙට ලියාපදිංචි වෙලා නිසා සමහරවිට වාහන අංකය/ චැසි අංකය වගේ තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි වන අතර ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇතැයි සඳහන් වේවි. මේ සඳහාත් ඔබට 1919 සහාය ලබා ගැනීමට සිදු වෙනවා.
  21. We are experiencing an unexpected load in the system. Kindly try again later – මේ පණිවිඩය වෙබ් අඩවියේ දිස් වෙනවානම් ඇප් එක හදපු අයගේ දෙමාපියන් සිහිපත් කරන්න එපා. මේකට හේතු වෙන්නේ දහස් ගණන්/ ලක්ෂ ගණන් ජනතාව මෙහි ලියාපදිංචියට උත්සාහ කරන නිසා ලැබෙන Traffic එක දරාගැනීමට අදාළ Server වලට නොහැකි වීම. මේ වගේම දෙයක් සාමාන්‍යපෙළ/ උසස්පෙළ වගේ විභාග ප්‍රතිඵල නිකුත් කරලා ටික වේලාවකින් ඔබ අත්දැකලා ඇති. හැබැයි කවදහරි මේ ඇප් එකෙන් තෙල් ගහන්න ගිහින් QR එක ස්කෑන් කරද්දිත් මේ වගේ ම වුණොත් නම් පෝලිමට වෙලා අමතර වෙලාවක් ඉන්න උනාම, කාගේ දෙමව්පියන් සිහි කරන්න වේවිද කියලා කල්පනා කරගෙන ඉන්න.

ඔබට මීට අමතරව තවදුරටත් ගැටලු තියෙනවානම් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ මිතුරෙකුට ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවනම් අමතක නොකර ශෙයා කරන්න. ඉදිරියේ දී වත් ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply