චන්ද්‍රයාටත් තමන්ගේම කියා 4ජී ජාලයක් – අපි තවම සිග්නල් හොයනවා

සඳ මත 4ජී ජාලයක් ස්ථාපිත කිරීමට ජර්මානු විද්‍යාඥයින් පිරිසකට උවමනා වෙලා තිබෙනවා. චන්ද්‍ර රෝවර් යානා දෙකකින් ඒ සඳහා සහය ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
පා(ර්)ට් ටයිම් සයන්ටිස්ට්ස් (Part-Time Scientists – PTScientists) නමැති කණ්ඩායමේ පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නොකියා බෙල් ලැබ්ස් ආයතනය (Nokia Bell Labs) සමඟ එක්ව ජර්මනියේ වොඩාෆෝන් ආයතනය (Vodafone) සහය පළ කරන බවට පසුගිය දිනෙක නිවේදනය කරනු ලැබුවා. ඔවුන්ගේ සැලසුම වන්නේ ලබන වර්ෂයට පෙර සඳ වෙත SpaceX Falcon 9 rocket ආධාරයෙන් රෝවර් යානා යැවීමටයි.

“ඇත්තටම මේ තමයි සූර්යග්රහ මණ්ඩලයේ නොනැසී පැවැත්ම සම්බන්ධයෙන් සිදු කරන සොයාගැනීමේ පළමු පියවර වන්නේ.“ මෙසේ පැවසූයේ පීටීසයන්ටිස්ට්ස් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රොබට් බොහ්මේ මහතායි.
“මිනිසා හට පෘථිවිය නැමැති තොටිල්ලෙන් ඉවතට යාමට නම්, අපගේ නිවස වූ ග්‍රහලෝකය වටා යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වෙනවා.“
පසුගිය කාලයේ අවලංගු කරන ලද සඳ පෘෂ්ඨය මතට ගමන් කිරීමේ ගූගල් හි Lunar XPRIZE ව්‍යාපෘතිය සමඟ සෘජුවම තරඟ වැදුණු එක් ආයතනයක් ලෙස PTScientists හැඳින්විය හැකියි. නමුත් ඇත්තටම ගූගල් විසින් එම ව්‍යාපෘතිය තරඟයෙන් අස් කරගනු ලැබූයේ 2017 වර්ෂයේදීයි. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ වෙනත් පෞද්ගලික ආයෝජකයෙකු විසින් එම චන්ද්‍ර සිහිනය ඇත්තක් බවට පත් කර ගනීවි යන්නයි.
මේ අනුව පීටීසයන්ටිස්ට්ස් විසින් අවුඩි (Audi) සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් චන්ද්‍ර රෝවර් යානා දෙකක් “lunar Quattro” යන නමින් සැළසුම් කරනු ලැබූවා. මෙහි අරමුණ වූයේ නාසා හි ඇපලෝ 17 යානා ගොඩබස්වන ලද ප්‍රදේශයේ මෙම යානා ද ගොඩබස්වා පින්තූර සහ අධි සංවේදී වීඩියෝ දර්ශන පෘථිවිය වෙත ලබා ගැනීමයි.

මෙහිදී සජීවී වීඩියෝ ප්‍රවාහය (live video stream) ඇතුළුව චන්ද්‍රයා සහ පෘථිවිය යන එකිනෙකා අතර සන්නිවේදනය කිරීමේ මෙහෙයුම ජය ගැනීම සඳහා වොඩාෆෝන් සහ නොකියා යන සමාගම් විසින් අධි සුසංහිත ජාලයක් (Ultra Compact Network) සකස් කරනු ලැබුවා. එහි බර කිලෝග්රෑමයකටත් වඩා අඩුයි (අවුන්ස 35). එයට 4ජී භාවිතයෙන් මෙගා හර්ට්ස් 1800ක සංඛ්‍යාතයකින් විකාශනය කිරීමේ හැකියාවක් තිබෙනවා.
“ඇත්තටම, ප්‍රතිසම රේඩියෝ තරංග සමඟ සංසන්දනය කරන විට 4ජී ජාලයක් ගොඩක් දුරට බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කරනවා. මේ නිසා එය සඳ මත සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන අනාගත සැළැස්මේ දී තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා.“
සිද්ධාන්ත වලට අනුකූලව, ගගන ගාමියෙකුගේ ජංගම දුරකථනය මෙම ජාලයට සාර්ථකව සම්බන්ධ වන්නේ නම්, විශේෂයෙන් ම නාසා ආයතනයේ සඳ වෙත නැවත ගමන් කිරීමේ සැළසුම ආදී අනාගත චන්ද්‍ර ගවේෂණ සඳහා එය අතිශයින් වැදගත් වනු ඇති.

ඔවුන් මෙය සාර්ථකව සිදු කළ හොත්, ගගනගාමියෙකු ලෙස යම් දිනෙක සඳ මත සංචාරයකට පැමිණෙන ඔබගේ 4ජී උපාංගය සමඟ සම්බන්ධ වීමට සඳෙහි 4ජී ජාලය මඟ බලා සිටිනු ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ, අපේ රටේ 4ජී තබා ජංගම දුරකථන සංඥාවත් නොලැබෙන සමහර ප්‍රදේශ තවමත් පැවතීමයි.