අපව සොයා එන කුරුලු යාලුවෝ

 අපව සොයා එන කුරුලු යාලුවෝ

නිරිත දිග මෝසම් සුළං වාරය අවසාන වෙත්ම දහස් ගණන් ආගන්තුක කුරුල්ලෝ ලොව නා නා ප්‍රදේශවල සිට ලංකාවට ඇදෙන්නට පටන් ගැනිණි. අගෝස්තු මස සිය ගමන ආරම්භ කරන මේ කුරුලු යාලුවෝ ්හය මසක පමණ කාලයක් ලංකාවේ ගතකොට යළිත් අප්‍රේල් මාසයේ පමණ සිය ගම්බිම් බලා යන්නට පටන් ගනිති.

ශ්‍රී ලංකාවේ පක්ෂින් පිළිබඳව අධ්‍යයනයක යෙදුන පිලිප්ස් මහතා සඳහන් කරන්නේ කුරුලු වර්ග 425ක් පමණ ශ්‍රී ලංකාවේ දක්නට ලැබුනද ශ්‍රී ලංකාව තුළ වාසය කරන කුරුලු වර්ග ඇත්තේ 250ක් පමණ බවය. සෙසු කුරුල්ලන් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන අතර තවත් සමහර කුරුල්ලන් නිත්‍ය කාලසීමාවකට ශ්‍රී ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාව තුල වාසය කරන කුරුලු වර්ග 250න් කුරුලු වර්ග 21ක් පමණ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වේ.

එක් කලාපයක හෝ පලාතක සිට තවත් කලාපයකට හෝ පළාතකට කුරුල්ලන්ගේ පැමිණීම පක්ෂි සංක්‍ර‍මණය ලෙසින් හඳුන්වයි.

ශීත සෘතුව ආරම්භ වත් ම හිමාල අඩවියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සුදුරෙදි හොරා යුගල පෙඳයක් සහිත වූ අලංකාර පක්ෂියෙකි. අඩි 5000 දක්වා වූ උස කඳු මුදුන්වල සිට පහත් තැනිතලා දක්වා පැතිරී තිබෙන බිම් ප්‍රදේශවල වාසය කරන සුදු රෙදි හොරා ඉන්දියාවේ සිට පැමිණෙන පක්ෂියෙකි.

අපව සොයා එන කුරුලු යාලුවෝ untitle Fotor Collage
සුදුරෙදි හොරා සහ සිවුරු හොරා

මේ ගති ලක්ෂණ වලින් යුත් සිවුරු හොරා හෙවත් ගිනිහොරා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකි. ශීත කාලයේ ලංකාවට සැපත් වූ සුදු රෙදි හොරා අප්‍රේල් – මැයි මාස වලදී ලංකාවෙන් පිටත්ව යන විට රතු පැහැති වර්ගයේ (සිවුරු හොරා) පක්ෂීන් වියලි කලාපයට ගොස් බිත්තර දමයි. සිවුරු හොරාගේ පිරිමි පක්ෂීන්ට දිග පෙඳයක්ද ගැහැණු පක්ෂීන්ට කුඩා පෙඳයක්ද ඇත.

ශ්‍රී ලංකාවට සංක්‍ර‍ණය වන රෙදි හොරුන් අතර සුදු හා රතු පැහැ පියාපත් ඇති රෙදි හොරුන් දක්නට ලැබෙන අතර මෙම පක්ෂීන් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍ර‍ණය වෙතැයි විශ්වාස කෙරේ. මෙම පක්ෂීන් ලංකාවට ආවේණීක නොවන පක්ෂීන් යැයි අදහස් කෙරෙන්නේ සංක්‍ර‍මණය වන කාලයට මෙම වර්ගවල පක්ෂීන් ලංකාවේ දක්නට නොලැබෙන නිසාය.

අගෝස්තු සැප්තැම්බර් මාසවල ලංකාවට පැමිණෙන කුරුමිණි කුරුල්ලා (Blue Tailed Eats) ගිනිකුරුල්ලා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂයකි. මෙම පක්ෂියා රනිල්ලා හෙවත් අම්බයා ලෙසින්ද හඳුන්වයි. ජලය ඇති ස්ථානවල වාසය කරන මෙම පක්ෂියා උස් ගස්වල කොල රහිත අතුරිකිළි වල හිඳ ඉගිලෙන කුරුමිණියන් අල්ලා ගනියි.

අපව සොයා එන කුරුලු යාලුවෝ maxresdefault 3
කුරුමිණි කුරුල්ලා

අක්කරපත්තුව, කුමන, පොතුවිල්, බගුර ප්‍රදේශවල වැව් කණ්ඩි හා වැලිකඳු හාරා බිත්තර දමන මෙම නේවාසික පක්ෂියා ලංකාවට සංක්‍රමණය වන පක්ෂි විශේෂයක් බව හඳුනාගෙන ඇත.

ඔක්තෝම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන අවිච්චියා අවුරුදු කාලයේ දී අපට දක්නට ලැබෙන කුඩා පක්ෂියාය. දේදුනු පැහැ අලංකාර සිරුරක් ඇති අවිච්චියා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන අතර ගමන් විඩාව සමඟ රාත්‍රී කාලයේ ගොඩනැඟිලි වල හැපී මිය යන අවස්ථා එමටය. පාන්දරට මෙන්ම හැන්දෑවට නාදකරන අවිච්චියාට පිළිතුරු දෙනුවස් තවත් අවිච්චියන්ද පරිසරය පුරාවට සිටිති. අප්‍රේල් මැයි මාස වලදී ලංකාවෙන් පිටවී යන අවිච්චියා හිමාල ප්‍රදේශයේ බිත්තර ලන වග පරිසරවේදීන් පවසා සිටියි. කිරලෙකු තරම් විශාල වූ ඔලෙයියා (Gray Plover) ශ්‍රී ලංකාවේ උතුරු හා හම්බන්තොට ප්‍රදේශවල දක්නට ලැබෙන කෙටි බෙල්ලක් ්සහිත පක්ෂියෙකි. පියාසර කරන විට පියාපත් හා සිරුර යා වන ස්ථානයේ පිහිටි කළු පැහැති ලපය මෙම පක්ෂියා පිළිබඳ වූ අනන්‍යතාවය ලෙසින් හඳුනාගෙන ඇත. උතුරු යුරෝපය ආසියාව මෙන්ම ඇමෙරිකාවේ මෙම පක්ෂියා බිත්තර ලන්නේය.

අපව සොයා එන කුරුලු යාලුවෝ pacific golden plover w 1500
ඔලෙයියා

ඇලස්කාව, සයිබීරියාව ප්‍රදේශයන්හි බිත්තර ලන රණවටුවා (Golden Plover) කැස්වටුවෙකුට වඩා කුඩාය. රන්වන් පැහැ සිරුර පුරා කළු ලප සහිත මෙම පක්ෂීහු දහස් ගණනින් ලංකාවට සැපත් ව ජලාශ්‍රිත වගුරු බිම්වල කණ්ඩායම් ලෙසින් සැරි සරති.

උල් වූ පෙඳයක් ඇති කැස්වටුවා (Pin Tailed Snipe) ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ උතුරු හිමාලයේ සිටය. වැව් කුඹුරු හා වගුරු බිම්වලට ප්‍රිය කරන මෙම කැස්වටුවන් උදයේ හා හවස් යාමයේ පරිසරය පුරා දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවට පක්ෂීන් සංක්‍ර‍ණය වීම පිළිබඳව විවිධ මතවාදයන් පවතී. සංක්‍ර‍ණය වන පක්ෂීන් බොහෝ දෙනෙකු ජීවත් වන්නේ ලොව ශීත කලාපයේ ය. ශීත කලාපය තුළ සිය ජනබිම තුළ පවතින ආහාර අහේනිය නිසා උණුසුම් කලාපයට කුරුල්ලන් මෙසේ පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. නැගෙනහිර රටවල සිට බටහිර රටවල් කරාද පක්ෂීන් සංක්‍ර‍මණය වනු ඇතැයි දැනට සොයාගෙන ඇත. ශීත කාලයේදී මෙම කලාපය මීදුමෙන් වැසීමත් සමග ආහාර සොයා ගැනීමට තිබෙන අපහසුතාවය මෙම සංක්‍ර‍ණය සඳහා හේතු පාදකව ඇත.

කුරුලු සංක්‍ර‍ණය සඳහා පෘථිවි චුම්භක ක්‍ෂේත්‍ර‍ය ඉවකින් සේ දැනී කුරුල්ලන් මෙසේ සංක්‍ර‍මණය වනු ඇතැයිද විශ්වාස කෙරේ. ඔවුන් පැමිණි දිශාව පිළිබඳව මනා දැක්මක් පරෙවියන්ට ඇත. සැතපුම් 125ක් ඈතක දී මුදාහල පරෙවියෙකු සිය උපන්බිම සොයා කිසිදු අපහසුතාවයකින් තොරව ගමන් කොට ඇත. මුහුදු ලිහිණියන් රංචුවක් මුහුදු ලිහිණියන් වාසය නොකරන ප්‍රදේශයකදී මුදාහැරීමෙන් අනතුරුව සැතපුම් 850ක් දුර ලොව සිය නිජබිම වෙත පියඹා පැමිණි වග මෙක්සිකෝව ප්‍රදේශයෙන් වාර්තා වේ. මධ්‍යම පෝලන්තයේ සිට සැතපුම් 1420ක් ඈත ප්‍රදේශයේදී මුදාහල කොකුන් නැවත මධ්‍යම පෝලන්තයට පැමිණ ඇත. සිය ගමන් මග පිළිබඳව මනාවූ වැටහීමක් කුරුල්ලන් තුළ පවත්නා බවට පැහැදිලි වූ සාක්ෂි රාශියක් සඳහා නිදර්ශන එසේය. සංක්‍ර‍ණය වන පක්ෂීන් සිය ගමන් මාර්ගයේ තිබෙන මග සළකුණු ඉවෙන් මෙන් හඳුනා ගනී. මධ්‍යධරණි මුහුදේ මෙන්ම ජිබ්‍රෝල්ටා සමුද්‍ර‍ සන්ධියේදී සංක්‍ර‍මණ කාල සීමාවට කුරුල්ලන් දහස් ගණනින් දක්නට ලැබේ.

පෝලන්ත විද්‍යාඥයින් පෙන්වන අන්දමට පක්ෂීන්ගේ ඇස්වල පිහිටි ග්‍ර‍න්ථින්ට දිශාව දැන ගැනීමට මනා වූ හැකියාවක් ඇත.

කුඩා පක්ෂීන් රාත්‍රී කාලයේදී සංක්‍ර‍මණයේ යෙදෙන අතර දිවා කාලයේදී ආහාර සොයමින් ගමන් කරයි. වැහිලිහිණියන් සිය ආහාර පියාසර කාලය තුළම ලබා ගන්නා අතර උකුස්සන් අහසේ සුළං රැළි සිය පියඹා ඒමට උපයෝගී කර ගනිති. රාත්‍රී කාලය තුළ පියාසර කරන කුරුල්ලන් ප්‍ර‍ීපාගාර සහ පහන් කණුවල හැපී නැසී යති.

කුඩා පක්ෂීන් පැයකට සැතපුම් 15-25 අතර වේගයෙන් පියාඹති. තාරාවන් හා පාත්තයන්ගේ මෙම වේගය පැයට සැතපුම් 40-60 දක්වාය. කුරුලුගොයින් හා ලිහිණියන් ඉතාම වේගයෙන් පියාඹන අතර එහි වේගය පැයට සැතපුම් 200කි. ජලචර පක්ෂීන් ගමන් ගන්නේ V අක්ෂරයේ හැඩයටය. මෙම හැඩය නිසා පෙරමුණටම ගමන් ගන්නා පක්ෂියා හඳුනා ගැනීමට පහසුය.

සංක්‍ර‍මණය වන පක්ෂීන් පිළිබඳව හඳුනා ගැනීමට කුරුලු සංගම් ්විසින් පක්ෂීන් අල්ලා අංකය සටහන් කළ කුඩා මුදුවක් පාදයේ පළඳවා මුදා හරිති. යම් රටකදී මෙම කුරුල්ලා අල්ලා ගත් විට එය බාර දිය යුතු සංගමයද සටහන් කොට ඇත. ඇමෙරිකාවේ සංක්‍ර‍මණ පක්ෂීන් ලක්ෂ 4ක් පමණ ද එංගලන්තයේ පක්ෂීන් 50,000 ක් පමණද මෙලෙස මුදු පලඳවා අල්ලාගෙන ඔවුන්ගේ අප්‍ර‍කට තොරතුරු අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුරුලු සංගමය විසින් ගල්ඔය මිටියාවතට පැමිණෙන වනගල පෙන්දන් (Forest Wagtall) 92ක් අල්ලා පාදවලට මුදු පළඳවා මුදා හරින ලදි.

ශ්‍රී ලංකාවට පක්ෂීන් සංක්‍රමණය වන මාර්ග 2කි. එයින් බටහිර මාර්ගය හරහා පැමිණෙන පක්ෂීන් යුරෝපය පර්සියාව කාශ්මීරය කොමරින්තුඩුව හරහාද පැමිණ බටහිර වෙරළේ හලාවත සිට කළුතර දක්වා මුහුදු තීරයට ළඟා වෙති.

නැගෙනහිර ගමන් මාර්ගය ඔස්සේ පැමිණෙන පක්ෂීහු සයිබීරියාවේ ්සිට පැමිණෙන පක්ෂීන් සමග එක්වී තිබ්බතය හා හිමාලය කඳුවැටි අතරින් බෙංගාලය හා ඔරිස්සා ප්‍රාන්තය ඔස්සේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළට විත් එතැනින් පෝක් සමුද්‍ර‍සන්ධිය හරහා යාපනයට පැමිණ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ කරා සංක්‍ර‍මණය වෙති.

දේශ දේශාන්තරයේ සිට පැමිණෙන කුරුලු යහලුවන් සිය විවේකය කෙළි දෙලෙන් ගතකොට යලිදු සිය නිජබිම් කරා ගමන් කළ විට මේ ආනන්දනීය දිවයින තුළ දක්නට ලැබෙන්නේ පාලු නිසලතාවයකි. තවත් මාස හයක විරාමයකට පසුව මේ කුරුල්ලන් සිය දරුවන් ද සමඟ මේ රමණීය දිවයිනට සැපත්වනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා.

උපුටාගැනීම – මුතුහර – 1999 ඔක්තෝම්බර් කලාපය

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.