“බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට” – මනුස් දූපතේ අවාසනාවන්ත මිනිස් ජීවිත

කි.මි 21,00 ක වපසරියෙන් යුක්ත 43,000 ක ජනගහනයෙන් සමන්විත මනුස් දූපත පැපුවා නිව්ගිනියාවට අයත් දූපත් අතරින් කුඩාම දූපත වේ. ධීවර කර්මාන්තයේ නිරත වැසියන්ට ජනාවාස වූ නිසාම මෙම දූපතට ඒ නම යෙදුන බවත් සඳහන් වේ. මෙම දූපතේ ප්‍රධාන නගරය වූ ලොරෙන්ගඩ් ප්‍රදේශයේ වැඩි ජනගහනයක් වෙසෙන අතර මෙම දූපත් රාජ්‍යයයේ ව්‍යවහාර භාෂාවන් ගණන තිහක් පමණ වේ.
1884 වසරේ මෙම දූපත ජර්මනියට යටත් රාජ්‍යක් විය. එයින් පසුව ජර්මානුවන් මෙහි පොල් වගා කළ අතර 1920 වසරේ පළමු ලෝක යුද්ධය අවසානයේදී ජාතින්ගේ සංගමය විසින් මනුස් දූපත සහ ඇඩ්මිරල්ට් දූපත ඔස්ට්‍රේලියාව ට පවරා දෙන ලදී.

1944 වසරේ මනුස් දූපත ජපානය විසින් අත්පත් කර ගත්තද, නැවතත් 1944 වසරේ ඔස්ට්‍රෙිලියානු රජය විසින් මනුස් දූපත ඔවුන්ගේ බවට පත් කර ගෙන ඇත.
2001 වසරේදී මනුස් දූපත සලකන ලද්දේ සරණාගතයන් වෙනුවෙන් වූ සිරකඳවුරක් ලෙසින්ය. මේ වෙන විට පාලන බලයේ සිටි ඔස්ට්‍රේලියාවේ අගමැති ”ජෝන් හොවාර්ඩ්” ඔහුගේ ”පැසිපික් සොලි්යුෂන්” යටතේ මෙම කඳවුර පිහිටුවන ලදී. මැදපෙරදිග, ඉරානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල සිට බෝට්ටු මගින් පැමිණෙන සරණාගතයින් ඔස්ට්‍රෙලියාවේ පදිංචි වීමට පෙර මනුස් දූපතේ රඳවා තැබූහ. 2008 වසරේදී කම්කරු පක්ෂ අගමැති කෙවින් රවි විසින් මෙම කඳවුර වසා දැමූ අතර නැවතත් නව අගමැති ජිලාඩ් විසින් මෙය විවෘත කරනු ලැබුවේ සරණාගතයින් සිරකර තබන ලද කඳවුරක් ලෙසින්ය.

මේ අතර මනුස් දූපතේ රැඳවියන් වෙනුවෙන් කණකොකා හඬන ලකුණු දැන් පහළ වී ඇත. නොබෝදා පැපුවා නිව්ගිනි රජයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙමින් කියා සිටියේ මෙම දූපතේ පවත්වාගෙන යන සරණාගත කඳවුර නීති විරෝදී සහ ව්‍යවස්ථාවට පටහැණි බවයි. පැපුවා නිව්ගිනි රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ඡේදය උල්ලංඝනය වන බැව් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වාර්තාවන්ට අනුව 2013 වසරේ ඔස්ට්‍රෙලියාවේ සරණාගත අපේක්ෂාව 24,000 ඉක්මවා ඇත. 2011 සිට 2012 අතර කාලයේදී එය 18,000 කි.
2014 වසරේ මෙම රජයේ ව්‍යවස්ථා සංශෝධනයට අනුව ”වෙනත් රටක එකඟතාවයෙන් ” විදේශිකයන් රඳවා ගැනීම යන කොටස එක් කිරීමට අධිකරණය එකඟ නොවීය. අධිකරණය මගින් ඉදිරිපත් කළ තර්කය වූයේ සංක්‍රමණිකයන් රටට ඇතුළු වන්නේ අනවසරයෙන් නම් ඔවුන් රටකට අදාල යැයි කිව නොහැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු පිළිබඳ අමාත්‍යවර ”පීටර් ඩටන් ” කියා සිටින්නේ මේ වෙනුවෙන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොවන බවත් තමන් සෘජුවම පැපුවා නිව්ගිනියාවට ප්රශ්නය යොමු කරන බවත්ය. පැපුවා නිව්ගිනි මහකොමසාරිස් පවසන්නේ මෙය ඔස්ට්‍රේලියාවට අයත් කටයුත්තක් බවයි. මානව හිමිකම් කවුන්සිලය විසින් ලියා ඇති වාර්තාවේ සඳහන් අන්දමට ඔස්ට්‍රේලියාව සරණාගතයින් පිලිබඳව දක්වන ප්‍රතිචාර සහ මෙම කඳවුරු තුළ ඔවුන් වෙනුවෙන් ලබා දෙන පහසුකම් ඉතාම දුර්වල තත්වයක පවතින බවයි. මෙම කඳවුරුවල වෙසෙන පිරිස් වෙනුවෙන් පුරවැසිබව ලැබුනොත් ඔවුන් පදිංචි විය යුත්තේ පැපුවා නිව්ගිනියාවේ මිස ඔස්ට්‍රෙලියාවේ නොවන බවත් ඔස්ට්‍රේලියානු රජය අවධාරණයෙන්ම කියා සිටී. මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් වරක් ඉරාන ජාතික මාධ්‍යවේදියෙකු කියා ඇත්තේ, ”සාගරයෙන් හා ඝන කැලෑවකින් වටවුන උස පොල්ගස් ඇති දූපතක තිබෙන කූඩුවක් ගැන සිතන්න.” යනුවෙන්ය.

එවිට මෙම කඳවුර තුළ තිබෙන දුක්ඛ දෝමනස්සයන් ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. කෙසේ වුනත් ඔස්ට්‍රේලියාව සරණාගතයින් පිළිගන්නට කැමැත්තක් නැත. තමන්ගේ ජාතිය තුළ විවිධ වාර්ගිකයන්ගේ සම්මිශ්‍රණය සමග ඇති වෙන සංස්කෘතික වෙනසද ඔවුන් රුස්සන්නේ නැත. මේ නිසා මනුස් දූපතේ සරණාගතයන් දෙපැත්තට දෝලනය වෙමින් සිටිති.