යළි ඉපදුණු ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලය – නාලන්දාව

 යළි ඉපදුණු ලොව ඉපැරණිම විශ්ව විද්‍යාලය – නාලන්දාව

පුරාණ ලෝකයේ අධ්‍යාපන ආයතන අතුරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලැබූ සහ බුද්ධිමතුන් රාශියක් ඒකරාශී කළ ස්ථානයක් වශයෙන් නාලන්දා විශ්වවිද්‍යාලය සැළකිය හැකියි.

ලොව නන් දෙසින් උපාධි අපේක්ෂකයින් දර්ශණය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව සහ වෙනත් විෂයයන් ඉගෙනීමට මෙහි පැමිණියහ.

ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව අපට පැවසිය හැකි කරුණක් වන්නේ නාලන්දා විශ්වවිද්‍යාලය වෙත හින්දු ගුප්ත පාලකයින් විසින් අනුග්‍රහය දැක්වූ බවයි. හර්ෂවර්ධන වැනි ඉන්දියානු බෞද්ධ රජවරුන් මෙන්ම විවිධ අධිරාජයන්ගේ අනුග්‍රහය ලබමින් වර්ෂ 800ක කාලයක් පුරා එනම් ක්‍රිස්තු වර්ෂ 5වන සිවසේ සිට 12 වන සිවස දක්වා අභිමානවත් ලෙසින් පැවතුණු බවයි.

කාලයත් සමඟ පළමු යුරෝපීය විශ්වවිද්‍යාලය 1088 දී Bologna හි ආරම්භ වන විට වර්ෂ 800ක කාලයක් පුරා අභිමානවත් ලෙස දහස් ගණන් ශිෂ්‍යයන්ට දැනුම බෙදාදෙමින් නාලන්දා විශ්වවිද්‍යාලය මුල් තැන හෙබවීය.

නාලන්දා විශ්වවිද්‍යාලය මෙතරම් වැදගත් වන්නේ එය ගෘහනිර්මාණ ශිල්පය අතින් සහ පාරිසරික වශයෙන් මූලාකෘතියක් ලෙස හැඳින්විය හැකි නිසයි. විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ මනා ලෙස සකස් කර පැවති පන්සල්, භාවනා ශාලා, පන්තිකාමර, ජල පොකුණු සහ උයන් එම කියමන වඩාත් තහවුරු කිරීමට ඇති සාධකයි. .

එවකට නාලන්දා විශ්වවිද්‍යාලය ඉන්දියාවට පමණක් සීමා නොවීය. ඇත්තටම එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස හැඳින්විය හැක්කේ කොරියාව, ජපානය, චීනය, ටිබෙටය, ඉන්දුනීසියියාව, පර්සියාව සහ තුර්කිය වැනි රටවල් වල ශිෂ්‍යයින්ද මෙහි පැමිණ අධ්‍යාපනය ලැබූ නිසයි. එමෙන්ම එම රටවල් වලින් පැමිණි ආචාර්යවරුන්ද ඉගැන්වීම් කටයුතු වල නිරත විය.

විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රධානතම පුස්තකාල අතර “Dharmaganja” (“Treasury of Truth”) සහ Dharma Ghunj (“Mountain of Truth”) නමැති පුස්කාල වල සි දහස් ගණනින් වටිනා පොත්පත් පැවතුණි.

නාලන්දා විශ්වවිද්‍යාලයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ එසමයෙහි ලොව ඇති විශාලතම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ එකතුව බවට සැමරීම සිදු විය. ඒ අතර විශ්වවිද්‍යාලය උසස් ස්ථානයකට පත් වීමත් නව දර්ශනයක් යටතේ ඉදිරියට යාමත් සිදු විය.

මෙතරම් ප්‍රෞඨ ඉතිහාසයකට උරුමකම් පාමින් සියවස් ගණනාවක් පුරා ලොවට දැනුම බෙදාදුන් නාලන්දා විශ්වවිද්‍යාලයේ අවසානය සනිටුහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී මුස්ලිම් ආක්‍රමණිකයෙකු වූ Bakhtiyar Khalji විසින් ඇති කරන ලද විනාශය නිසාවෙනි. මෙහිදී පුස්තකාල වල පැවති මිලියන 9ක් පමණ ග්‍රන්ථ අත්පිටපත් ගින්නෙන් දැවී අළුවිය.

ඇලෙක්සැන්ඩර් කනිංහැම් නමැති ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයා විසින් 1860 දී මෙම ස්ථානය නාලන්දාව ලෙස හඳුනාගන්නා ලදුව 1915 – 1916 කාලයේදී ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මෙම ස්ථානයේ කැණීම් කටයුතු අරඹන ලදි.

අද වන විට නාලන්දාව ඉන්දියාවේ ඇති වැඩිම පිරිසක් පැමිණෙන ඓතිහාසික සහ වාස්තු විද්‍යාත්මක ස්ථානය බවට පත්වී තිබේ.

2006 වර්ෂයේදී ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, සහ ජපානය යන රටවල් විසින් ඉතිහාසය තුළ වැළලී ගිය නාලන්දා විශ්වවිද්‍යාලයයේ නටඹුන් අතරින්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙසින් නැවත පුනර්ජීවනය කිරීමට යෝජනා කළහ.

ඒ අනුව සියවස් ගණනක නිහැඬියාවකින් අනතුරුව 2014 සැප්තැම්බර් 19 වන දින ශිෂ්‍යයින් 12 දෙනෙක් සහ පීඨ කාර්යමණ්ඩලය 06 දෙනෙකු සහිතව ලොව ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනය වන නාලන්දා විශ්වවිද්‍යාලයෙහි පන්ති පැවැත්වීම නැවත ආරම්භ විය.

නාලන්දා විශ්වවිද්‍යාලයෙහි ප්‍රබල දැක්ම වන්නේ ඉන්දියාවට, ආසියාවට සහ මුළු ලොවටම වැදගත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් දායාද කිරීමයි.

ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.