අද කොරෝනා, එදා ලොවක් ලෙඩ කළ මාරක ස්පාඤ්ඤ උණ

 අද කොරෝනා, එදා ලොවක් ලෙඩ කළ මාරක ස්පාඤ්ඤ උණ

1918 වසරේ ලෝකයා භීතියට පත් කළ “ස්පාඤ්ඤ උණ” රෝගයේ පළමු රෝගියා එක්සත් ජනපදයෙන් වාර්තා විය. මෙය H1N1 වර්ගයේ වයිරසයකි. පළමු ලෝක යුද්ධයේ පෙරමුණේ සිටි සෙබළුන් අතර ස්පාඤ්ඤ උණ රෝගය වේගයෙන් ව්‍යාප්ත විය. මේ රෝගයේ ආරම්භය ගැන විවිධ අදහස් ඇත. මුල්ම වාර්තාව ඇමරිකාවේ කැන්සාස්හි පිහිටි රයිලි බලකොටුව ආසන්නයේ පිහිටි “ෆන්ස්ටන් ”හමුදා කඳවුරේ අරක්කැමි සෙබල “ඇල්බට් ගිවෙල් ”යැයි සඳහන් වුනත් “ජෝන් බැරි” නැමැති ලේඛකයා සඳහන් කරන අන්දමට මෙම රෝගය කැන්සාස්හි හස්කල් කවුන්ට් ප්‍රදේශයෙන් පැතිර යන්නට ඇතැයි තහවුරු කරන ලදී.

වෛද්‍ය ලොරින් මයිනර් විසින් මුලින්ම මෙම වෛරසය හඳුනා ගෙන ඇත. 1918 වසරේ මාර්තු 4 වැනි දින ඇල්බට් රැගිවෙල් රෝගාතුර වූ අතර නොවැම්බර් මාසය වන විට සොල්දාදුවන් සිය දෙනෙක්ද, එයින් දින කීපයකින් පසු 522 ක්ද රෝගයට ගොදුරු විය. වෛරසය නිව්යෝක් නගරයටද 1918 වසර වන විට ප්‍රංශයේ බ්‍රෙස්ට්, සියරාලියොන්, ඇමරිකාවේ මැසෂුෂෙට්ස් දක්වා පැතිරී ගොස් තිබේ. අයර්ලන්තයට පැමිණි සොල්දාදුවන් නිසා එම රටටත් උත්තරධ්‍රැවයටත් පැතිරී ගොස් තිබේ.

මේ අදහස පිළිබඳව වෙනස් මතයක් 1999 වසරේදී වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජෝන් ඔක්ස්ෆර්ඞ් ඇතුළු කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ අදහස අනුව මෙම රෝගය මුලින්ම වැලඳී ඇත්තේ ප්‍රංශයේ එටාපලස් ප්‍රදේශයේ ආසාදිත පක්ෂින් ආහාරයට ගත් ඌරන්ට වැළඳී එතැනින් පසු එම ඌරන්ගේ මාංශ මෙම සෙබළුන් විසින් ආහාරයට ගෙන ඇති නිසා සෙබළුන් ආසාදිත වූ බවයි. රෝහල් කඳවුරක සිටි සෙබළුන් පිරිසකට වැළඳී එතැනින් සම්ප්‍රේෂනය වූ බවයි. දේශපාලන විද්‍යාඥයෙකු වන “ඇන්ඩෘ ප්‍රයිස් ස්මිත්” සඳහන් කරන්නේ මෙම රෝගය 1917 වසරේදී ඔස්ට්‍රියාවෙන් පැතිර ගිය බවයි.

ලෝකයෙන් හුදෙකලාව සිටින පැසිපික් දූපත් හා ආක්ටික් කලාපයටත් ස්පාඤ්ඤ උණ ව්‍යාප්ත විය. චීනයෙන් ඇමරිකාවේ බොස්ටන් නුවරටත්, ප්‍රංශයේ බ්‍රෙස්ට් ප්‍රදේශයටත්, එතැන් සිට යුරෝපා සටන් පෙරමුණටත් මෙම වෛරසය ව්‍යාප්ත වූ බව වෛද්‍ය සී හැනවුන්ගේ අදහසයි. මෙම රෝගයෙන් දරුණු ලෙසින් ආසාදිත වූයේ තරුණ වියේ පසු වූ උදවියයි. සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වඩාත් දරුණු ලෙස බලපාන්නේ ළදරුවන් සහ මහළු අවධියේ පසුවන අයට වුනත් මෙතැනදී වෙනස් විය. මරණයට පත් අයගේ සිරුරුවලින් හඳුනා ගත් වෛරසයෙන් මෙය සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන්නට ඇතැයි තීරණය විය.

1918 වසරේ අගෝස්තු මාසය වන විට ඉන්ෆ්ලුවන්සා රෝග තත්වයේ දෙවැනි අදියර ඉතා දරුණු ලෙසින් ව්‍යාප්ත විය.මෙම රෝගය උත්සන්න අවස්ථාවේදී නාසය, කණ් වලින් රුධිරය ගැලීමත්, චර්මය පුපුරා ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ පහල විය. තවත් පිරිසක් බැක්ටීරියා නිව්මෝනියාවෙන් මරණයට පත් විය.

2009 වසරේ ප්‍රකාශිත වෛද්‍ය වාර්තාවක “කැරන් සටාර්කෝ” සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ මරණ වෙනුවෙන් ප්‍රධාන වරද වී ඇත්තේ වෛද්‍යවරයෙකු විසින් රෝගීන්ට ලබා දෙන ලද ඇස්ප්‍රින් ඖෂධයේ ග්‍රෑම් 8.00 සිට 31.2 ක් තරම් වූ අධි මාත්‍රාවයි. රෝගීන්ගේ මරණ වෙනුවෙන් මෙම මාත්‍රාව බලපාන්නට ඇතැයි මෙම වාර්තාව සඳහන් කරයි. රුධිරය දිය කරන ඇස්ප්‍රින් උක්ත රෝගීන්ගේ රෝග තත්වය තව දුරටත් දරුණු වීමට හේතු විය.

ලෝක ජනගහනයෙන් මිලියන 50 ක් පමණ මෙම වසංගතයේ පැතිරීම ආරම්භක අවස්ථාවේදී මිය ගොස් ඇත. පළමු ලෝක යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ට වඩා පිරිසක් “ස්පාඤ්ඤ උණ ”රෝගයෙන් මිය ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදාවෙන් 36% කට ආසන්න පිරිසක් මෙම රෝග තත්වයට ගොදුරු වී ඇත. යුද්ධයට සම්බන්ධ සොල්දාදුවන් ඇතුළු පිරිස් ලෝකය පුරා සැරි සැරීම නිසා සිවිල් පුද්ගලයන්ටත් මෙම රෝග තත්වය වැළඳී ඇති අතර ඉන්දියාව සහ ලංකාවටත් ස්පාඤ්ඤ උණ දරුණු ආකාරයෙන් බලපා තිබේ. මේ කාලයේදී නිසි සංඛ්‍යා ලේඛන නොමැති වුනත් එවක ශ්‍රි ලංකාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරීයා වූ “ජී.ජේ රදර්ෆර්ඞ්” ගේ වාර්තාව අනුව ශ්‍රි ලංකාවේ විශාල පිරිසක් මෙම රෝගයේ ගොදුරු බවට පත්ව ඇත.

ලෝකයේ සමස්ත ජනගහනයෙන් 3% සිට 5% ක් පමණ මරණයට පත් විය. මේ තත්වය කොතරම් දරුණුද යත්, මුල්  වසර විසිපහක කාලයේදී මිලියන 25 ක් මියගිය අතර එයින් මිලියන 17 ක් ඉන්දියාවෙන් වාර්තා විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ පැවැති කලාපයේ මිලියන 14 ක්ද,ජපානයේ මිලියන 3,90,000 ක්ද මරණයට පත් විය. මෙය ආසියාවේ අඩුම මරණ සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ. ජපානයේ මරණ සංඛ්‍යාව අවම වීමට හේතු කීපයක් බලපාන ලදී. ඔවුන් මුහුදු ගමනාගමනය පාලනය කිරීමට කටයුතු කරන ලදී. මේ අතර ඇමරිකානු සැවෝමා සහ ප්‍රංශ කොලනියක් වූ නව කැලිඩෝනියාවේ එකදු මරණයක්වත් වාර්තා නොවුනේ මෙම රාජ්‍යන් විසින් අතීතයේදී අනුගමනය කරන ලද සාර්ථක නිරෝධායන කටයුතු නිසාය. මෙම රෝගයෙන් ආරක්ෂා වුන එක රටක් විය. ඒ බ්‍රසිලයේ ඇමසන් නදී ඩෙල්ටාවේ හුදෙකලා රටක් වූ “මරායෝ ” රාජ්‍යයය පමණි.

ඉන්දුනීසියාවෙන් වාර්තා වුන රෝගින් මිලියන 30 ක් අතරින් මිලියන 1.5 ක් මිය ගියහ. මාස දෙකක් තුළ සමෝවා ජනගහනයෙන් 22% ක් මරණයට පත් වුන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ජනගහනයෙන් 28% ක ආසාදිත වූහ. බ්‍රසිලයේ ජනාධිපති “රොඞ්රිගෝ ඇල්වෙස්” මෙම ඉන්ෆ්ලුවන්සාවෙන් මරණයට පත් විය.

1919  වසර අවසන් වෙන විට රෝගින්ගේ වාර්තාවීම  අඩු වූ අතර 1920 වසර වෙන විට පැතිරීම අඩු විය. නමුත් ජර්මනිය, එක්සත් රාජධානිය ප්‍රංශය සහ ඇමරිකාව වැනි රටවල් ස්පාඤ්ඤ උණ පිළිබඳව සැබෑ පුවත් ප්‍රකාශයට පත් කළේ නැත. නමුත් ස්පාඤ්ඤය මේ ගැන තොරතුරු ලොවට හෙලිදරව් කරන ලදී. ඒ නිසාම මෙම රෝගය “ස්පාඤ්ඤ උණ”යනුවෙන් හඳුන්වන ලදී. තවත් මතයක් අනුව එවක ස්පාඤ්ඤයේ රාජ්‍යත්වය දරණ ලද අටවන අල්පොන්සෝ රජතුමා මෙම උණ රෝග තත්වයෙන් මියගිය නිසාත් මේ උණ රෝගය “ස්පාඤ්ඤ උණ” යනුවෙන් හැඳින්වූ බවත් විශ්වාස කෙරේ.

ස්පාඤ්ඤ උණ කොරෝනා
ඡායාරූපය දිණමිණ – එදා ස්පාඤ්ඤ උණ මෙදා කොරෝනා

දැනුම බෙදා හදා ගනිමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *