අහිංසකයින්ගේ මුදල් ගසාකන පිරමීඩ ජාවාරමේ සැබෑ නිරුවත

 අහිංසකයින්ගේ මුදල් ගසාකන පිරමීඩ ජාවාරමේ සැබෑ නිරුවත

පසුගිය කාලයේ පිරමීඩ ක්‍රමය ලෙස හැඳින්වුණු අහිංසකයන්ගෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරම දැන් වෙනත් නම් වලින් සමාජ කරලියට පැමිණෙන බවට නවතම තොරතුරු ලැබෙමින් තිබේ. මේ එය මුල් කොට සම්පාදනය කෙරෙන විශේෂ ලිපියකි.

අපගේ හිතවතෙකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කර ගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේ ය.

“මේකෙන් සල්ලි ලැබෙන විදිහ ගැන ඔයාට හිතාගන්නත් බැහැ. අපි එන්න කලින් ආපු හුඟ දෙනෙක් දැන් හොඳට ම දියුණු වෙලා. එක්කෙනෙක් කාර් එකකුත් ගත්තා. අපිත් මේ දැන් ටික ටික නැඟිටගෙනයි එන්නේ.” ඔහු එසේද කීය.

මේ මා පෞද්ගලිකව මුහුණ දුන් අත්දැකීමකි. සැබවින්ම මේ වේගයෙන් මුදල් ඉපැයීමක් ලෙස ඔහු විස්තර කරන ලද්දේ ‘පිරමීඩ’ ගනුදෙනුවක් මිස අන් කිසිවක් නොවේ. මෙය සැබවින්ම හොර ජාවාරමක් වන අතර මෙවැනි කිසිදු වංචනික ක්‍රියාවකට හසු නොවන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත්වල දැන්වීම් පවා පළකොට ඇති මුත් වර්තමානයේ මෙම ව්‍යාපාරය විවිධ මුහුණුවර ඔස්සේ නැවත ක්‍රියාත්මක වෙමින් පවතී. යම් යම් අය “මේකත් අර පිරමීඩ බිස්නස් එකක් ද?” කියා කවුරුන් හෝ ඇසූ විට “පිස්සුද මේක එහෙම එකක් නෙවෙයි. එහෙම නම් මම මේකට කොහොමවත් සම්බන්ධ වෙන්නෙ නෑ. අනික මේකට මහ බැංකුවේ අනුමැතියත් තියෙනවා.” යැයි මෙයට බැඳී සිටින්නන් නව සාමාජිකයින් බඳවා ගැනීමේ දී පවසයි. කෙසේ නමුත් අප සිටින්නන් සැලකිය යුතු පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්වම මෙයට සම්බන්ධ වී සිටිති. අතීතයේ පිරමීඩ ක්‍රමය ලෙස හැඳින්වුණ මෙය දැන් වෙනත් නම් වලින් ක්‍රියාත්මක වෙයි.

පිරමීඩ ක්‍රමය යනු කුමක්ද?

මුදල් පිරමීඩ ජාවාරම

ඔබ පිරමීඩයක පින්තූරයක් දැක තිබෙනවාට සැක නැත. පිරමීඩයක් සාමාන්‍යයෙන් ඉහළ සිට පහළට කෙමෙන් විශාල වෙයි. පිරමීඩ ගනුදෙනු වල ද ඇත්තේ එවැනි ස්වභාවයකි. අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදු කෙරෙන මෙම පිරමීඩ ක්‍රමයේ ව්‍යාපාරවලට හසුවන්නෝ නම් කොතෙකුත් සිටිති.

පිරමීඩ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙය හඳුන්වා දෙන ආයතනය මෙහි මුල් ගනුදෙනුකරුවාට හෝ කරුවන්ට යම්කිසි භාණ්ඩයක් අලෙවි කරයි. ඔවුන් මේ ආකාරයට ගනුදෙනුකරුවන්ට අලෙවි කරනුයේ බොහෝ ප්‍රයෝජනවත් යැයි පැවසෙන භාණ්ඩයකි. කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන්නේ එය සාමාන්‍ය වෙළඳපළෙන් ඉතා අඩු මිලට ගත හැකි, බොහෝවිට චීනයේ නිෂ්පාදිත භාණ්ඩයක් බවය. කෙසේ නමුත් මෙම ව්‍යාපාරයට බැඳී මුදල් ඉපැයීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුහු මෙම භාණ්ඩය මිලදී ගිනිති. මෙවැනි සංවිධානයකට සාමාජිකයින් බඳවාගැනීම සඳහා මුදල් ද අය කරන බැවින් ඔවුන්ට වැඩි මිලක් දී අඩු වටිනාකමක් ඇති භාණ්ඩයක් මිලට ගන්නට සිදුවේ. ඉන්පසු ඔහු විසින් මෙම ආයතනය වෙත තවත් අලුත් සාමාජිකයන් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඉන්පසු එම මිලටම ඔවුන් දෙදෙනාටද එම භාණ්ඩය විකිනිය යුතු වේ. මෙසේ විකුණද්දී ඔවුන්ට යම් කිසි ප්‍රතිශතයකින් වට්ටමක්ද හිමිවේ. මේ ආකාරයට පිරමීඩයේ පහළට ගමන් කරද්දී වැඩි වැඩියෙන් නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කළ යුතුය. මෙහිදී එක් ස්ථරයක සිටිය යුතු සාමාජිකයන් ගණන කොතෙක්දැයි ගණන් බලන අතර එක් ස්ථරයකින් ඊළඟ ස්ථරයට යද්දී යම්කිසි ලකුණු ප්‍රමාණයක්ද හිමි වේ. ලකුණු සමඟ මුදල්ද හිමිවේ. තමන් හඳුන්වාදුන් සාමාජිකයින් මෙසේ පහළට ගමන් කරන විටද මේ ආකාරයට ලකුණු සහ මුදල් හිමිවේ. යම් සාමාජිකයෙක් සියලු උත්සාහ දරා තවත් පහළට ගමන් කළහොත්, ඒ වන විට ආයතනය ඔහු නිසා බොහෝ ගනුදෙනුකරුවන් පිරිසක් මේ සඳහා බඳවාගෙන ඇති බැවින් ඔහුට වඩාත් වටිනාකමක් ඇති භාණ්ඩයක් තිළිණ කරයි. මේ පිළිබඳව මා සමඟ කතා කළ හිතවතා කීවේ ඔවුනට මෙම ආයතනය වෙත හඳුන්වා දුන් පුද්ගලයාට මෑතකදී මෝටර් රථයක් ද හිමි වූ බවය. මෙවැනි දේ දකිත්ම බොහෝ දෙනෙක් මෙයට නව සාමාජිකයින් බඳවා ගැනීමට හැකි සියලු උත්සාහයන් යොදා වැඩ කටයුතු කරති. නමුත් ගැටලුව වන්නේ මුලින්ම මෙයට බැඳෙන සාමාජිකයන් හට මෙම පිරමීඩයේ පහළ ස්ථර කරා පහසුවෙන් ඇදී ගිය හැකි නමුත් පසුව බැඳෙන සාමාජිකයින් හට ඒ සඳහා ඇති අවස්ථාව වඩාත් අවම වීමයි.

බොහෝ විට මෙම පිරමීඩ ක්‍රමය සිදු ව්නනේ දෙකේ ගුණාකාර වලටය. මෙයට සම්බන්ධ වන සෑම පුද්ගලයකුම නව සාමාජිකයන් දෙදෙනෙකු මේ සඳහා බඳවා ගත යුතුවේ. එවිට 2, 4, 8, 16, 32 ආදී වශයෙන් දෙකේ ගුණාකාර වලින් වැඩිවෙයි. මෙහි සඳහන් රූපසටහන බැලීමෙන් මෙය වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.

මෙහි පහළට ගමන් කරද්දී සාමාජිකයින් බඳවා ගැනීම කෙතරම් දුෂ්කරද යන්න ඔබට පෙනෙනවා ඇත. 25 වැනි ස්ථරයේදී එකතු වී සිටිය යුතු සාමාජික සංඛ්‍යාව තුන්කෝටියකටත් වඩා වැඩිය. නමුත් අප රටේ ජනගහනය දෙකෝටි විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි. මුල් ස්ථර වලදී කෙසේ හෝ සාමාජිකයින් බඳවා ගත්තද පහළට යත්ම එය ඉතා දුෂ්කර වේ. මේ අනුව මුල් අවස්ථාවේදී මෙයට එක් වන සාමාජිකයින් හට යම් යම් මට්ටම්වලින් ප්‍රතිලාභ ලබන්නට හැකියාව ලැබුණත්, පසුව එක්වන සාමාජිකයින් හට එය එක්කෝ දුෂ්කර වේ. එක්කෝ ලැබෙන්නේම නැත.

මෙම ව්‍යාපාරයට අප රටේ සියලුම ජනතාව එක් වූවා කියා මදකට සිතුවද පහළට යත්ම මෙයට සිටිය යුතු සාමාජික සංඛ්‍යාව ජනගහනයද ඉක්මවන නිසා අලුතින් එකතු කර ගැනීමට කිසිවකු ඉතිරි වන්නේ නැත. එවිට ඔවුන්ට සිදුවන්නේ පාඩුව විඳ දරා ගැනීමටය. අනෙක මෙයට සාමාජිකයින් බඳවාගැනීම සඳහා අධික කාලයක් මිඩංගු කරන්නට සිදු වේ. ඒ සඳහා වියදම් දරන්නටද සිදු වේ. මෙවැනි ව්‍යාපාර සඳහා සිය දේපළ පවා උගස් කොට මුදල් ආයෝජනය කළ ඇතැමෙක් හට අවසානයේ බඳවා ගැනීමට සාමාජිකයින් නොසිටි නිසා සිදු වූයේ පාඩුව විඳ දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නටය.

පිරමීඩ ජාවාරම

ප්‍රායෝගික ලෙස සළකා බැලුවහොත් මෙවැනි ව්‍යාපරයක් සඳහා එකතු වන්නට සියලු දෙනාම කැමති වන්නේ නැත. මේ පිරමීඩ ක්‍රමය වංචාවක් බැව් අවබෝධ කරගෙන සිටින කිසිවෙකු මෙටය සම්බන්ධ වන්නේ නැත. අප රටේ ජනගහනයෙන් බාලවයස්කරුවන් හෝ වයෝවෘද ජනතාවද මෙයට එකතු වන්නේ නැත. යම් වෘත්තීය මට්ටම් වල සිටින කිසිවෙකුද එකතු වන්නට කැමැත්තක් දක්වන්නේ නැත. මේ නිසා මෙවැනි ව්‍යාපාර සඳහා එක්කරගත හැකි පිරිස වර්තමානය වන විට සිටින්නේ සාපේකෂව සුළු ප්‍රතිශතයකි. එසේ හෙයින් වර්තමානයේ මෙම ව්‍යාපාරයකින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ මුල් ස්ථර කිහිපයේ පසුවන්නන් කිහිප දෙනෙකුට පමණි. සෙසු සියලු දෙනාට සිදුවන්නේ පාඩුව විඳදරා ගැනීමටයි.

මේ නිසා සියලු දෙනා සිදුකළ යුත්තේ මෙවැනි ව්‍යාපාර වලට සම්බන්ධ වී ඇති පුද්ගලයින් පැමිණ ඔබ ඉදිරියේ මවන සුරංගනා ලෝකය පිළිබඳව බුද්ධිමත්ව සිතා බලා මෙම වංචාවන්ට හසු නොවී ජීවත් වීමයි.

මූලාශ්‍රය – නිරංජන් චාමින්ද කරුණාතිලක – රැජිණ පුවත්පත – 2016.04.15

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *