ලෝන්ග් වුල්ෆ් – රණකාමී රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා

 ලෝන්ග් වුල්ෆ් – රණකාමී රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා

1830 වසරේ උපත ලද ලෝන්ග් වුල්ෆ් ජීවත්වුයේ ඉතා මනරම් පරිසරයක් වූ ”ලැකෝටා”ප්‍රදේශයේය. ගවයන් වැනි සතුන්ගේ පස්ගෝ රස සම්පතින් සහ ගොවිතැනින් තම ජීවිතය ගෙවා ගත් ලෝන්ග් වුල්ෆ් ඇතුලු පිරිස ගත කලේ ඉතා සැහැල්ලු වූද , සරල ජීවිතයකි.

ඒත් මේ ජීවිතයට කනකොකා හඬන්නට පටන් ගත්තේ 1860 වසරේදීය. එක්සත් ජනපද හමුදාවන් විසින් ඔවුන් ජීවත් වූ ලැකෝටා ප්‍රදේශය ආක්‍රමනය කරද්දී ලෝන්ග් වුල්ෆ් වෙනුවෙන් එක්සත් ජනපදය පවා සුවිශේෂී වටිනාකමක් ලබා දී තිබුණි. මේ නිසාම ලෝන්ග් වුල්ෆ් ඇමරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමකට එළැඹි අතර ඔවුන්ට බ්ලැක්හිල් ප්‍රදේශය පවරා දෙන ලදී. 1874 වසරේදී රත්රන් උන්මාදය නිසා එක්සත් ජනපදය විසින් මෙම ප්‍රදේශයටද බලපෑම් කරන්නට වූයෙන් ලෝන්ග් වුල්ෆ් ඒ වෙනුවෙන් නැගී සිටියේය.

ඔහු තම ගෝත්‍රය වෙනුවෙන් නැගී සිටියේය. එහෙත් 1876 වසරේ ජුනි 25 වැනි දින ලුතිනන් කර්නල් ජෝර්ජ් කුස්ටර්ගේ බල ඇණිය විසින් පහර එල්ල කරන විට ලෝන්ග් වුල්ෆ් තම සගයන් සමග එක්ව කුස්ටර් හමුදාව පරාජය කොට ජයග්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් මහත් සේ වෙහෙසක් දරන ලදී. ඇත්තෙන්ම ඔවුන් ජය ලැබූහ.

කාලය සමග කාලගුණය ඔවුන්ට විරසක විය. සීතල සහ සාගතය නිසා ඔවුන් සිටි කඳුකර කලාපය අතහැර සයින්රිජ් ප්‍රදේශයට පැමිණි අතර පිරිසක් කඳුකරයේම නතර වූහ. 1880 වන විට මෙම ඉන්දියානුවන්ගේ අදහස් උදහස් බෙහෙවින් වෙනස්කමට යොමු වුනේ එක්තරා ආගමික නිකායක් විසින් ඉදිරිපත් කරන ලද මතවාද නිසාය. මෙම ගැලවුම්කාර දර්ශනයට ඇතැමුන් එකඟ වූවද, ලෝන්ග් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. මේ අන්දමින් තමන්ගේ ගෝත්‍රය අතර විවිධකාර මතවාද හා ආකල්ප වගා වෙමින් තිබියදී සහ කාලගුණ තත්වයන් මගින් දරුණු ලෙසින් බැට කන අවස්ථාවක නැවතත් කුස්ටර් තම හමුදාව සමග මෙම ප්‍රදේශය ආක්‍රමණය කරන්නට විය. එදා තිබුන ශක්තිය ලෝන්ග් වුල්ෆ්ට නොවුනෙන් ඔහු රණවිරුවෙකු වුනත් දෙවරක් නොසිතා යටත් වූයේය.

මෙම අවධියේදී රංග ශිල්පියෙකු වූ ”බෆලෝ බිල් කෝඩි” මෙම ප්‍රදේශයට පැමිණි අතර ඔහුගේ රංගන කණ්ඩායමට ශිල්පින් ලෙසින් ලෝන්ග් වුල්ෆ්ගේ පිරිසට එක් වෙන ලෙසින් ආරාධනා කළේය. කාලගුණයෙන් ලත් පහරත්, ගවයන් ඇති කිරීමට තිබුන වපසරිය අහිමි වීමත් නිසා කළ යුතු දෙයක් නොමැත්තෙන් ලෝන්ග් වුල්ෆ් ඒ වෙනුවෙන් එකඟ වූයේ තම සගයන් වෙනුවෙන් කළ හැකි වෙනත් විකල්පයක් නොවූ නිසාය.

ඒ සමගම ”වයිල්ඩ් වෙස්ට්”  සංදර්ශනය වෙනුවෙන් මෙම ඉන්දියානුවන් යුරෝපයට පැමිණියහ. එහිදී සංදර්ශන කීපයක් පවත්වන ලද අතර ලෝන්ග් වුල්ෆ් වෙනුවෙන් ලැබුන ප්‍රතිචාරය සුලුපටු නොවීය. මෙම කණ්ඩායමේ නායකත්වයටද වුල්ෆ් පත් කරන ලදී.

එහෙත්….. හදිසියේම ලෝන්ග් වුල්ෆ්  නිව්මෝනියා රෝග තත්වයට ගොදුරුව රෝහල්ගතව ගෙවුනේ දින කීපයකි. ඉතා නිහඬව ඔහු මියගියා පමණක් නොව කිසිම හඬක් නැතිවම මිහිදන් කරන ලදී. ලන්ඩනයේ පුවත්පතක පවා ඉන්දියානු නායකයා ගැන පළ කරන ලද්දේ එක් ඡේදයක දැන්වීමක් පමණි. තමා මියගිය විට මිහිදන් කිරීමෙන් පසුව සොහොන මත සලකුණක් තබන්නැයි ලෝන්ග් පවසා තිබුනි. බ්‍රොම්ප්ටන් සුසානයේ මිහිදන් කරන ලද ඔහුගේ සොහොනේ ඔහුගේ නම සමග වෘකයෙකුගේ රූපය සටහන් කරන ලදී. මෙම සටහන වෙතින් බලාපොරොත්තු වූයේ තමා මිය ගියත් ගෝත්‍රයේ උදවියට ඔහු ගැන දන්වා සිටීමටයි.

පළමු ලෝක යුද්ධය ආරම්භ විය. මියැදෙන ජීවිත කෙළවරක් නැත. මේ සියලු සිරුරු බ්‍රොම්ප්ටන් සුසානබිම වෙත රැගෙන ආහ. ලෝන්ග් වුල්ෆ් සැබෑ වීරයෙක් වුනත් කිසිවෙකුදු මෙම විරුවාගේ සුසානයටවත් ගරු කළේ නැත. සාමය උදා විය. යුද්ධයේදී මියගිය විරුවන්ගේ සොහොන් සොය සොයා නෑ හිතවතුන් පැමිණියද ‍ලෝන්ග් වුල්ෆ් වෙනුවෙන් කිසිවෙකුත් පැමිණියේ නැත.

එක් දිනක් එලිසබෙත් නයිට් විසින් බ්‍රොම්ස්ග්‍රෝව් නගරයේ ඇවිද යමින් සිටියදී පැරණි භාණ්ඩ තිබෙන ස්ථානයක් හමු වි. ඇය එතැනින් පොතක් මිළට ගත්තාය. ඉන්දියානු රණවිරුවා සැතැපෙන සොහොන ගැන විස්තර එහි සදහන් විය. ඇය ලන්ඩනය බලා යෑමට දුම්රියට ගොඩ වුනේ මෙම රණවිරුවාගේ සොහොන සොයන අටියෙන්ය.ලිපියේ තොරතුරු අනුව ගිය එලිසබෙත් නයිට් අවසානයේදී වුල්ෆ්ගේ සොහොන හඳුනා ගත්තාය. මේ වෙන විට සුසානයට වසර 100 ක් පිරී අවසානය.

දැන් ඇගේ කාර්යය වන්නේ ලෝන්ග්ගේ පරම්පරා පුරුක් සොයා ගැනීමයි. දකුණු ඩෙකෝටා ප්‍රදේශයේ වෙසෙන ඔහුගේ මීමුණුපුරෙක් වූ ”ජෝන් බ්ලැක්ෆෙදර්” ගැන දැන ගන්නට ලැබුණි. වුල්ෆ්ගේ සුසානය පිළිබඳ තොරතුරු ඇයට දන්වා සිටි අතර නැවතත් මෙම සිරුර ගෞරව බුහුමන් ඇතිව මිහිදන් කිරීමට ඇය කටයුතු කරන බැව් දන්වා සිටියාය.

ලෝන්ග් වුල්ෆ් තම බිරිඳ සමඟින්..

1997 වසරේ ලෝන්ග්ගේ මෘත ශරීරය තිබූ දිරා ගිය පෙට්ටිය පිත්තල වලින් සරසන ලද අලුත් පෙට්ටියක බහා අවසාන දේව මෙහෙය වෙනුවෙන් ශාන්ත ලුක් දේවස්ථානය වෙත ගෙන යන ලදී. එයින් අනතුරුව ඔහු සහ ඔහුගේ ලේ ඥාතින්ද සැතැපෙන සුසාන බිමක මිහිදන් කරන ලදී. රණවිරුවාගේ කීර්තිමත් නාමය වෙනුවෙන් වූ පළමු පස් පිඬ බ්ලැක් ෆෙදර් විසින් වලට දැම්මාය.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.