රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න

 රැවුල ගිණි ගන්නෙ නැතිව රැවුලේ වටිනාකම දැන ගන්න

1860 වසරේ මැයි මාසයේදී ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිධූර අපේක්ෂකයා වෙත මේ අන්දමින් ලිපියක් ලැබී තිබුණි.

ලින්කන් මැතිතුමණි,

ඔබ ඇමරිකාවේ ජනාධිපති වීම ගැන කැමැත්තෙන් සිටින අය අතර මමත් සිටිනවා. මට වයස අවුරුදු එකොළහයි. මුහුණ ඇකිලිලා. හකු ඇතුලට ගිහින්. මම ඔබට එක් උපදෙසක් දෙන්නම්. ඔබ රැවුල වවන්න. එය මුහුණට අලුත් පෙනුමක් ගෙන දේවි. එවිට ඔබ ඡන්දයෙන් දිනයි.

ඔබට ජය,

මම ග්‍රේස් බෙඩල්

ජනාධිපතිවරණයෙන් ජයගත් ඒබ්‍රහම් ලින්කන් ධවල මන්දිරයට යන අතරමග විශාල පිරිසක් මධ්‍යයේ සිය වාහනය නවතා මෙසේ විමසීය.

මෙතැන ග්‍රේස් බෙඩල් දුව ඉන්නවාද.? ඇය ඉදිරියට ආවාය. ජනාධිපතිවරයා ඇය වඩා ගෙන කම්මුල සිප ගත්තේය. ඔන්න මම ඔයා කිව්වට රැවුල වැවුවා. දැන් මං ලස්සනයිද?

SONY DSC

රැවුල වවන්න යැයි ග්‍රේස් බෙඩල් විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය ඩොලර් දෙදහසකට වෙන්දේසියේ විකුණන ලද අතර එය ඩේවිඩ් වොල්පර් විසින් මිළට ගෙන ඇත.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ සමාජයේ තිබෙන පිලිගැනීම වන්නේ රැවුල සහිත පිරිමින් වඩාත් සුවිශේෂී බවයි. කාන්තාවන් අතර මේ මතය ප්‍රචලිතව ඇති බව එම අධ්‍යනයේදී සනාථ විය. මනෝවිද්‍යාඥ රොබට් ජේ. පෙලිග්‍රිනි ‍සඳහන් කරන්නේ පුරුෂයෙකුගේ රැවුලෙන් ඉස්මතු වෙන වීරත්වය, ශක්තිමත් බව වැනි චරිතාංග නිසා පිරිමින් රැවුල වෙනුවෙන් වැඩි අවධානයක් දක්වන බවයි.

ඊජිප්තුවේ ධනවත් පවුල්වල පිරිමින් රැවුල් වැවූ අතර ඔවුන් ඒ වෙනුවෙන් විවිධ වර්ණ යොදා ගෙන ඇත. ඇතැම් අය රත්රන් නූල් යොදා ගෙන තමන්ගේ රැවුල ගොතා ගත් බවටත් තොරතුරු ඇත. ඉන්දියානුවන් රැවුල වවන ලද්දේ අභිමානයේ සහ බුද්ධිමත් බවේ සලකුණක් ලෙසින්ය.

රැවුලට ඉතා හොඳින් සාත්තු කළ අය අතර ප්‍රකටව සිටින්නේ මෙසපොතේමියානුවන්ය. ඔවුන් තෙල් ගල්වා රැවුලට සාත්තු කළ අතර එහි වළලු පවා එල්ලා අලංකාර කරන ලදී. ග්‍රික ජාතිකයන්ද රැවුල වෙනුවෙන් මහත් සේ සත්කාර කරන ලදී. රැවුල පුරැෂයන්ගේ අභිමානයේ සලකුණක් වූ නිසාමදෝ වරදට දඬුවම් ලෙසින් ස්පාර්ටා රටේ වැසියන්ගේ රැවුලෙන් කොටසක් කපා දමන ලදී.

මධ්‍යතන යුගයේදී වීරයන් ලෙස සලකන ලද නයිට්වරුන් විසින් රැවුල වවා ඇත. අටවැනි හෙන්රි රජතුමා රැවුල වෙනුවෙන් බද්දක් පැනවූ අතර පළමුවැනි එලිසබෙත් රාජිණිය රැවුල අප්‍රිය කළ නිසාම ඒ වෙනුවෙන් බදු පනවා ඇත. රුසියාවේ පීටර් රජතුමාද රැවුල වෙනුවෙන් බදු පනවන ලද රජෙකු ලෙසින් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත.

18 වන සියවසේ යුරෝපා ජාතිකයන් රැවුල සම්පූර්ණයෙන්ම කපා දමන ප්‍රවනතාවයකට පත්ව සිටියහ. රෝම ජාතිකයන් රැවුල වෙනුවෙන් එතරම් තැනක් දුන්නේ නැත. ඔවුන් පිලිවෙල ගැන වඩාත් උනන්දු වූ නිසා රැවුල හොඳින් කපා ගෙන සිටීම තමන්ගේ පිළිවෙල වෙනුවෙන් වඩාත් වැදගත් විය හැකි යැයි සිතූහ. එහෙත් එක්තරා රෝම අධිරාජ්‍යයෙක් රැවුල වවන ලද්දේ තමාගේ මුහුණෙහි වූ ලප කැලැල් වසා ගැනීමටය. රැවුල නිසා වාතයේ විෂ රසායනයන්ගෙන් මුහුණේ සමට ඇති විය හැකි අවදානම බොහෝ දුරට අවම වෙන බවත් වැඩිදෙනාගේ අදහසයි. 1850 වසරට පසුව නැවතත් රැවුල ජනප්‍රිය අංගයක් ලෙසට සමාජයේ සලකන්නනට විය. මේ නිසාම එම පුරුද්ද නොදැනුවත්වම රෝමයටත් ජනප්‍රිය විය.

රුසියාවේ තුන්වැනි ඇලෙක්සැන්ඩර් රජතුමා, ප්‍රංශයේ තුන්වැනි නැපෝලියන් සහ ජර්මනියේ තුන්වැනි ‍ෆ්‍රෙඩ්රික් යන රජවරුන් රැවුල වවන ලද ලැයිස්තුවට ඇතුලත්ව ඇත. කාල්මාක්ස්, ගැරිබෝල්ඩි, ගිජෙස් වර්නි, බෙන්ජමින් ඩිස්රායලි වැනි ලෝක ප්‍රකට ප්‍රභූන් රැවුල වැවූ නිසාම එය  පිරිමින්ගේ අභිමානයේ සලකුණක් බවට පත් විය.

දෙවැනි ලෝක මහ යුද්ධයෙන් පසුව රැවුල වෙනුවෙන් පිරිමින්ගේ උන්දුව අඩු වෙන්නට පටන් ගත්තේද හේතු සාධක සහිතවය. යුද්ධයේදී ගෑස් මුහුනු දමන්නට සිද්ධ වෙන නිසා ඔවුන්ට රැවුල කරදරයක් වූයෙන් රැවුල වැවීම නොදැනම අඩු වන්නට විය.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.