බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා.

 බිරිඳගෙ වියෝවෙන් පස්සෙ මේ සීයා ආපහු ඉස්කෝලෙ යනවා.

දුර්ගා කාමී (Durga Kami) සීයා ජීවත් වෙන්නේ නේපාලයේ පෙඩිකෝලා (Phedikhola) කියන ගමේ. ඔහු උදේම අවදි වෙලා සුදෝ සුදු රැවුල පීරලා පාසල් නිල ඇඳුම ඇඳගෙන ඊටපස්සෙ තමන්ගෙ සැරයටියත් අරගෙන පැයක විතර කාලයක් පයින් ගමන් කරලා ඉස්කෝලෙට එනවා. සීයා කෙනෙක්? ඔවු මට වැරදුනේ නැහැ පාසල් ගියාට ඔහු වසය අවුරුදු 68 ක සීයා කෙනෙක් තමයි.

දුර්ගා සීයට පුංචි කාලෙදි හරියට ඉස්කෝලෙ යන්න ලැබිලා නැහැ එයාලගෙ දෙමව්පියො දුප්පත් නිසා. ඉතින් ගුරුවරයෙක් වෙන්න ඔහුගේ තිබුණ සිහිනය ඉෂ්ට වෙලා නැහැ.

දැන් ඔහුගේ වයස 68යි. දරුවන් 06 දෙනෙකුගෙ තාත්තා කෙනෙක්. මුණුපුරු මිණිපිරියොම 08 දෙනෙක් එයාට ඉන්නවා. ඔහුගේ බිරිඳ මියගියාට පස්සෙ තමන්ගෙ තියෙන පාළුව සහ තනිකම මකාගන්නත් එක්ක ඔහු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. සතියට දවස් 06ක් ඔහු පාසල් යනවා.

ඔහු ඉගෙන ගන්න පාසලේ නම තමයි ශ්‍රී කලා භයිරාබ් උසස් පාසල (Shree Kala Bhairab higher secondary school). මේ පාසල නේපාලයේ අගනගරය වන කත්මණ්ඩු නගරයෙන් කිලෝමීටර් 250ක් පමණ ඈතින් පිහිටා තියෙන්නෙ. පාසලේ තියෙන්නෙ එකම එක පන්ති කාමරයක්. ඒකෙ ඇතුලෙ ඉගෙන ගන්න පාසලේ ළමුන් 200 කගේ ඝෝෂාවෙන් පිරිලා ගිහින්.  හැමවෙලේම විදුලිය විසන්ධි වෙන එකයි වැස්ස වෙලාවට වහළයෙන් වතුර බේරෙන එකයි ඒ පාසලේ සාමාන්‍යයෙන් සිදුවන දේවල් විදිහට සළකන්න පුළුවනි.

“මගේ දුක තුනී කරගන්න මම පාසල් යනවා.” රොයිටර් පුවත් සේවයට එහෙම කියලා තියෙන්නෙ නේපාලයේ ඉන්න වයසින් වැඩිම පාසල් ශිෂ්‍යයා වන දුර්ගා සීයා. මේ වෙනකොට ඔහු ඉගෙන ගන්නෙ පාසලේ 10 වන ශ්‍රේණියේලු.

වයස අවුරුදු හතේදි, අටේදි පමණ ඔහු කඳුකර පළාතේ පාසලක් වන කහාරේ ප්‍රාථමික විද්‍යාලයට ගියා. ඒ වයසෙදි කියවීම සහ ලිවීම යම්තාක් දුරකට ප්‍රගුණ කරගත්තත් පහේ පන්තියට යන්න කලින්, ඒ කියන්නෙ වසහ එකොළහේදි විතර ඔහු පාසල් ගමන නතර කරලා.

ඒ පාසලේ ගුරුවරයෙක් වූ ඩී.ආර්. කොයිරාල මහතා විසින් දුර්ගා සීයට ආරාධනා කලා පාසලට එන්න කියලා. ඊටපස්සෙ ඔහුට පාසල් ලිපිද්‍රව්‍ය, අළු පාට කලිසමක්, සුදු කමිසයක් සහ නිල් ඉරි සහිත ටයි පටියකින් සමන්විත පාසල් නිල ඇඳුමකුත් ගුරුතුමාගෙන් තෑගි ලැබුණා.

“මේක තමයි මගේ පළවෙනි අත්දැකීම, මගේ තාත්තගේ වයසේ තරම් වයසින් මුහුකුරා ගිය කෙනෙක්ට පාසලේදි උගන්නන්න ලැබුණ එක..” කොයිරාල සර් එහෙම කිව්වා.  “මට මේක හරිම පුදුමයි. ඒ වගේම සතුටුදායකයි.”

පාසලෙන් ලැබුණු පුංචි ශිෂ්‍යත්වය ඔහුගේ ආහාර වේල සඳහා ලැබුණේ නැහැ. ඒ නිසා උදේට ඔහු පාසල් යන්න කලින් බත් සමඟ කොළ පැහැති එළවළු වලින් සමන්විත ගුන්ඩුක් ‘Gundruk’ නම් සාම්ප්‍රදායික ආහාරයක් දිවා ආහාර වේල තෙක් ඔහුගේ කුසගින්න නිවා තබනවා.

මේ පාසලේ 10 වසරේ ළමයි 20 දෙනෙක් ඉගෙනුම ලබනවා. එයාල දුර්ගා සීයට කතා කරන්නේ ‘බා’ කියලා. ඒකෙ තේරුම නේපාල භාෂාවෙන් ‘තාත්තා’ කියන එකයි. හැබැයි ඔහුගේ වයසට නෙවෙයි වැඩ නම්. පාසලේදි සියලුම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් වොලිබෝල් වැනි ක්‍රීඩා සඳහාත් ඔහු කුඩා සිසුන් සමඟ එකතු වෙනවා.

“ඒත් මම හිතුවා වයසක කෙනෙක් ඇයි අපිත් එක්ක පාසලේ ඉගෙන ගන්න එන්නේ කියලා? ඒත් කාලයක් යනකොට ඔහුගේ ආශ්‍රය මම ඉතා ප්‍රිය කලා. අපිත් එක්ක සංසන්දනය කරද්දි එයා ටිකක් විතර ඉගෙනීමට දුර්වල උනාට අපි පුළුවන් තරම් ඔහුට ඉගෙන ගන්න උදව් කරනවා.” මෙහෙම කියන්නෙ ඔහුගේ වයස 14ක් වන පාසල් මිතුරෙක් වන සාගර් ථාපා.

දුර්ගා සීයා කියන විදිහට ඔහු කැමතියි ඔහුගේ මරණය සිදුවෙනකම් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මෙමඟින් ඔහු බලාපොරොත්තු වෙනවා වයස් භේදය නිසා ඉගෙනීමට අවස්ථාවක් නොලද අයට මෙමඟින් දිරිගැන්වීමක් ලැබේවි කියලා.

“සුදු පාට රැවුලක් තියෙන මම වගේ වයසක කෙනෙක් ඉස්කෝලෙ පන්තියක ඉගෙන ගන්නවා දැක්කම පොඩි දරුවො තවදුරටත් ආසාවෙන් ඉගෙනගන්න උනන්දු වේවි. ” ඔහු අවසාන වශයෙන් එහෙම කිව්වා.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *