ඉන්දියානු ‘ගව විවාහ’ සහ තවත් පුදුම ගොන් වැඩ

 ඉන්දියානු ‘ගව විවාහ’ සහ තවත් පුදුම ගොන් වැඩ

ඉන්දියාවේ පූජණීය ගවයින් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ වගේම ඉන්දියානු ශිෂ්ඨාචාරයේ මව ලෙස සළකන සහ දෙවියන් විසින් ලබා දුන් ඉන්දියානු සංකේතය,  ප්‍රධානතම ආගමික සහ සංස්කෘතිකමය සාධකය විදිහට ගවයා සැළකෙනවා. මේ අනුව ඉන්දියානු “ගවයින් සුරැකීමේ ව්‍යාපාරය” 1882 දී බිහිවිය. එයින් පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉන්දියාව තුළ ගවයින් ඝාතනය කිරීම නතර කිරීමටත් හැකිවුණා. මේ තරම් ගවයින් සම්මානයට පාත්‍ර වීමට මූලිකවම බලපාන්නේ මිනිසා වෙත ඔවුන් ලබා දෙන කිරි, මීකිරි, ගිතෙල්, ගව මූත්‍ර සහ ගොම වැනි මහඟු නිෂ්පාදන නිසයි. ගොම පොහොරක් වශයෙන් යොදා ගත්තට ගව මූත්‍ර මොනාටද ප්‍රයෝජනවත් කියලා අනිවාර්යෙන්ම ඔබට ගැටලුවක් ඇතිවේවි. ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. එතෙක් මේ සියලු දේ ඉන්දියානු ජනයාගේ එදිනෙදා ජීවිතය හා බැඳුණු ප්‍රයෝජනවත් දේවල් බවට පත් වෙලා තිබෙනවා. මීට අමතරව සාම්ප්‍රදායික වී ගොවිතැනේ නගුල යොදාගෙන සී සෑමට සහ කරත්ත වැනි ප්‍රවාහන මාධ්‍ය සඳහාද ගවයා උපකාරී වෙනවා.

දැන් හිතන්නකෝ ඔබ ඔබේ සුරතල් බල්ලාව හෝ පූසාව නාවලා, ඇඳුමක් අන්දලා සුරතල් කරනවා කියලා. අන්න ඒ වගේම ඉන්දියාවේදී ඔබට ගවයෙක් ඔබට සුරතලා විදිහට ඇති කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගෑල්ලමෙක් හොයාගන්න නැත්නම් එළදෙනක් කසාද බඳින්නත් පුළුවන්. ඉතින් ඔබ ඉන්දියාවට ගියොත් මේ වගේ ගවයාගෙන් ගොඩාක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ අතරින් කිහිපයක් ගැන මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවනි.

1. ගවයින් විවාහ කළ හැකියි. 

ගවයින්ට කසාද බඳින්න පුළුවන් කියලා ඔබ කවදා හරි අහලා තිබුණද? ඉන්දියාවෙදි නම් ඒක ඇත්තටම සිද්ධ වෙන දෙයක්. 2011 වර්ෂයේදී Anusulya Vishwak සහ ඇගේ සැමියා තීරණය කලා එයාලගෙ පුංචි සුදු පාට සාධනා නමැති එළදෙන කසාද බන්දල දෙන්න.  මේ එළදෙනගේ මිනිස් දෙමාපියන්ට, ඒ කියන්නෙ කලින් සඳහන් කරපු ඉන්දියානු ජාතික යුවලට දරුවො නැහැ. නමුත් එයාල තමන්ගෙ ළඟ ඉන්න එළදෙන තමන්ගෙ දුව කියලා සළකලා කසාදයක් කරල දෙන්න හිතුවා. සුදුසු මනාලයෙකුත් හොයාගත්තා කියමුකෝ. කසාදෙට ගියපු වියදම ඉන්දියානු රුපියල් 200,000 ක් (US$3,230). ඒ වගේම උත්සවේට 1,500ක විතර සෙනඟකුත් ඇවිල්ලලු. මගුල් කාර් එක කියලා ජෝඩුව ගිහිල්ලා තියෙන්නෙ ට්‍රැක්ටරේක ට්‍රේලරේ නැගල තමයි.

ඔන්න ඒ වගේම තවත් කසාදයක් වෙලා තියෙනවා 2014 අප්‍රේල් මාසෙදි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ මෙම ගව විවාහයේ මනාලියගේ නම තමයි ගංගා. මනාල ගවයාගේ නම ප්‍රකාශ්. මේ විවාහයට මුල් උනේ ඒ ගමේ අය ගොඩක් විශ්වාස කරගෙන ඉන්න පූජක තුමෙක් දීපු උපදෙසකට අනුව මේ විවිහය සිදු උනොත් ගමට සෞභාග්‍යය උදා වීමත්, ස්වභාවික ව්‍යසන වලින් එයාලගේ වගාවන් ආරක්ෂා වෙන බවත් පැවසූ නිසයි. මේ කසාදෙටත් 5,000 ක් විතර අමුත්තො ඇවිත් හිටියා. එ් වගේම කසාදෙට ආපු කට්ටිය දීපු ගාණ (ලියුම් කවර වල දාල දීපුව වෙන්නැති) ඉන්දියානු රුපියල් මිලියනයකට ආසන්නයි. (US$16,000)

2. මිනිස්සුන්ට ගවයින් විවාහ කරගන්නත් පුළුවනි. ඔව්! ඔවුන් එහෙම කරනවා.

දැන් ඉතින් කෙල්ලෙක් නෑ කියලා හූල්ල හූල්ල හිටියා ඇති. ඉන්දියාව පැත්තෙ ගියානම් එළදෙනක් හරි කසාද බැඳගන්න පුළුවන්. ඔය සමහරු කාටූන් චරිත වල බෝනික්කොත් කසාද බඳිනවලු. ඉතින් පණ තියෙන එළදෙනක් මොකද බැරිවෙන්නෙ? අඩු තරමේ එළදෙන වයිෆ් ඇවිත් මූණ ලෙවකාලා ආදරේ එහෙමත් ප්‍රකාශ කරාවි. ඒ මදිවට කසාද බැඳලා හනිමූන් එකටත් එක්ක යන්නලු හදන්නෙ. දැන් ඉතින් බොරු කියනවා කියලා බනින්නෙ නැතුව මේ වීඩියෝ එක බලලම ඉන්න.

3. ගවයෙක් මරනවා කියන්නෙ ඉතින් මිනීමැරුමක් කලා වගේ තමයි.

බොහෝ ඉන්දියානු ප්‍රාන්ත වල ගවයෙක් මැරීම කියන්නෙ විශාල අපරාධයක් ලෙසටයි සැළකෙන්නෙ. එහෙම කලොත් අවුරුදු පහකට සිරබත් කන්නට තරම් දඬුවමක් ලැබෙන්න පුළුවනි. ඒ වගේම ඝාතනය කිරීම සඳහා පිටරටට ගවයින් අපනයනය කිරීමත් ඉන්දියානු නීතියෙන් තහනම් කටයුත්තක් වෙනවා.

නමුත් වාර්තා වලට අනුව එළදෙනුන් මිලියන දෙකක් සෑම වර්ෂයකම බංග්ලාදේශය වෙත ඉන්දීය දේශ සීමා ඔස්සේ හොර රහසේම රැගෙන ගොස් තිබෙනවා. පසුගිය වසර 10 ක කාලය තුළ ගව ජාවාරම්කරුවන් 1000 දෙනෙක්ට පමණ දේශසීමා ආරක්ෂක නිලධාරීන් අතින් මැරුම් කන්නත් සිදු වෙලා.

4. සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕනෙ නම් ගව මූත්‍රා පානය කරන්න.

ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ගව මූත්‍රා ඉතා වැදගත් දෙයක් ලෙස සැළකෙනවා. ඉන්දියාවේ භාවනානුයෝගීව වැඩ සිටින යෝගීවරයන් විසින් වසර 3,000ක පමණ කාලයක පටන් ගව මුත්‍රා පානය කර තිබෙනවා. එමඟින් ශරීරය පවිත්‍ර වීම, වයසට යෑමේ ක්‍රියාවලිය පාලනය කිරීම නිදහස් පිළිකාරක සෛල විනාශ කිරීම, හානි වූ ඩීඑන්ඒ යථා තත්ත්වයට පත් කිරීම සහ පිළිකා සමඟ සටන් කිරීමට ඇති හැකියාව මෙමඟින් ඇති ප්‍රයෝජන වශයෙන් ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම ගව මුත්‍රා වල ප්‍රතිජීවක ගුණයක් තිබෙන බවත් පැවසෙනවා. කෙසේ නමුත් ඉන්දියාවෙ ජනතාව නම් ගව මුත්‍රා පානය කරන එක අපිට නම් නවත්තන්න බැහැ.

5. ගොම උත්සවයට සහභාගී වන එළදෙනුන්

ගවයින්ගේ මලපහ හඳුන්වන්නේ ගොම කියන නාමයෙන් බව ඔබ දන්නවනේ. මේ ගොම සුළු වෙනස්කම් සිදු කරලා ස්වභාවික සහ කාබනික නිශ්පාදනයක් විදිහට භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. අනික් කාරණාව තමයි ගවයින් ඇතිකරන ප්‍රදේශවල නොමිලේම ලබාගත හැකි නිසා කඩවල් ගානෙ ගිහින් මිලදී ගන්න ඕන වෙන්නෙත් නැහැ. නිවෙස් සඳහා ජීව වායුව නිපදවා ගැනීමට, වගාව සඳහා පොහොරක් වශයෙන්, නිවෙස් වල බිම සකස් කිරීමට (ගොම මැටි ගෑ ගෙබිම) වගේ නොයෙක් ප්‍රයෝජන ගොම වලින් ලැබෙනවා.

නමුත් මේ ස්වභාවිකව ලැබෙන ගොම වෙනුවෙන් උත්සවයක් තියෙනවා කිව්වම පුදුම හිතෙනවා නේද? එළදෙනුන් සහභාගී කරගෙන ගොම ආශ්‍රිත නිශ්පාදන, ඒවායේ ප්‍රයෝජන පිළිබඳව ඉස්මතු වන අයුරින් උත්සව සංවිධානය කිරීම ඉන්දියාවේදී සිදු කෙරෙනවා.

6. ගවයින්ටත් වාර්ෂික නිවාඩු දිනයක් – Gopastami

ඉන්දියාවේ ගවයින් සඳහා වසර පුරා විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. විශේෂ දිනයන් ගවයින් උදෙසා වෙන් කරනවා. සමහර ඉන්දියානුවන් Gopastami නමින් හඳුන්වන ගවයින්ගේ නිවාඩු දිනය සමරනු ලබනවා. මෙම ගව නිවාඩු දිනය යෙදී තිබෙන්නේ ක්‍රිෂ්ණා දෙවිඳුන් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා නිල වශයෙන් ගොපල්ලන් බවට පත් වූ දවසේ බවට සැළකෙනවා. ඒ දවසට ගවයින් සියලුම රාජකාරි වලින් ඉවත් කර නිවාඩු ලබා දෙන්නට ඉන්දියානු ජනතාව කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි. ගවයින් නහවා, ඇඳුම් අන්දවා ආගමික ස්ථාන වෙත රැගෙන යාමත් සිදු කරනවා. එහිදී ගවයින් වෙනුවෙන් පූජා පැවැත්වීම සහ ආශිර්වාද කර සංග්‍රහ කිරීමද දකින්න පුළුවන්.

කෙසේ නමුත් වසර පුරා තමන්ට සේවය කරන ගවයින් වෙනුවෙන් එක් දිනක් හෝ වෙන් කර ඔවුන්ට ස්තූතිවන්ත වීම යහපත් මානුෂීය ගුණාංගයක් වශයෙන් අගය කළ යුතුයි.

7. ගවයින්ගේ ප්‍රශ්න ගැටලු විසඳන්නට ‘ගව අමාත්‍යාංශයක්’

Otaram Devasi කියන්නෙ ඉන්දියාවේ ප්‍රථම ‘ගොං ඇමති’ කියා හඳුන්වන්න පුළුවනි. එහෙම කිව්වම ටිකක් හරි නැහැ වගේ කියලා හිතෙනවා නේද? ඒත් ඉතින් ඉන්දිාවේ ගව අමාත්‍යාංශය කියලා එකක් තියෙනවානේ. ඉතින් ඒකෙ ගව කටයුතු පිළිබඳ ඇමතිතුමෙකුත් ඉන්නවා. ඉතින් මේ අමාත්‍යාංශය මඟින් තමයි ඉන්දියාවේ ගවයින්ට තියෙන ප්‍රශ්න විසඳන්නේ.

දැන් ඉතින් ලංකාවටත් මෙහෙම අමාත්‍යාංශයක් ඕනෙ කියලා පාරෙ උද්ඝෝෂණ කරනව එහෙම නෙවෙයි. 

ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.