මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්

 මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්

ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා. මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කරතබා ගැනීමට තිබෙන හැකියාව නිසාම මීළඟ දත්ත ගබඩා බවට පත්වීමට ඩීඑන්ඒ යෝග්‍ය බව විද්‍යාඥයින්ට අදහසක් ඇතිවුණා. මේ නිසාම විද්‍යාඥයින් සහ පර්යේෂකයින් ගොඩක් උනන්දු වෙලා වැඩ කලා. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ එකමුතුවෙන් බිහිවුණු පර්යේෂණ කණ්ඩායමට සතුටුදායක ආරංචියක් ලබාදෙන්නට හැකිවෙලා. ඒ තමයි ඩීඑන්ඒ දාමයක් තුළ මෙගාබයිට් 200ක පමණ දත්ත සාර්ථකව ගබඩා කිරීමට සහ නැවත ඒවා භාවිතයට ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

ඩීඑන්ඒ
පර්යේෂකයින් විසින් ඩීඑන්ඒ මත දත්ත ගබඩා කිරීම සම්බන්ධව නම වාර්තාවක් තැබුවා. පැන්සල් තුඩකටත් වඩා කුඩා ඉඩ ප්‍රමාණයක මෙගාබයිට 200ක පමණ අක්ෂර සහ වීඩියෝ තැන්පත් කිරීමට සමත් වුණා.

ඒ අය කියනවා දත්ත ගබඩා වල භෞතික ප්‍රමාණය මේ සොයාගැනීම නිසා අඩුවේවි කියලා. ගිගාබයිට් දහස් ගණනක ප්‍රමාණයෙන් යුතු දත්ත ඔබගේ අල්ල මත තැබිය හැකි උපකරණයක රැඳවෙනු ඇති. වර්තමාන තාක්ෂණය මඟින් නිෂ්පාදනය කරනු ලබන දත්ත වල ප්‍රමාණය ඉදිරි වසර කිහිපය වෙනකොට ගිගාබයිට් ට්‍රිලියන 44ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙපමණ විශාල දත්ත ප්‍රමාණයක් ඩීඑන්ඒ තාක්ෂණය යොදා ගනිමින් ඉතා කුඩා ඉඩක ගබඩා කිරීමට හැකි වේවිලු.

අවාසානාවකට වගේ දැනට අප භාවිතා කරන දත්ත ගබඩා කිරීමේ උපකරණ සෑම එකක්ම පාහේ ස්ථීරසාර දත්ත ගබඩා වශයෙන් සැළකෙන්නෙ නැහැ. උදාහරණ වශයෙන් කියනවානම් දෘඩ තැඩි, ඩීවීඩී තැටි, බ්ලූ-රේ තැටි, පෙන් ඩ්‍රයිව් යනාදිය භෞතික වශයෙන් හානි වීමටත්, කාලයත් සමඟ අක්‍රිය තත්ත්වයට පත් වීමටත් හැකියි. මේ නිසා දත්ත ගබඩා කිරීමේදී ඒවා දිගු කාලයක් ගබඩා කර තබා ගැනීමේ අවශ්‍යතාවය සඳහා සුදුසු විසඳුමක්ද අවශ්‍ය වෙනවා.

ඩීඑන්ඒ
මේ ඉන්නේ පර්යේෂක කණ්ඩායම. වමේ සිට වොෂින්ටන් සරසවියේ ජෝජ් සීලිග් (Georg Seelig) සහ ලුයිස් සෙෂ් (Luis Ceze) සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ කරීන් ස්ට්‍රවුස් (Karin Strauss)

ඉතින් විද්‍යාඥයින් උනන්දු වුණා ස්වභාවධර්මයෙන් දෘඩ තැටියක් ලබාගන්න. ඉතින් දත්ත ගබඩා කිරීමේදී ඒ අයට හම්බවුණු හොඳම විසඳුම තමයි ඩීඑන්ඒ අණුව. මෙය දීර්ඝකාලීන දත්ත ගබඩාවක අවශ්‍යතාවය සහ ධාරිතාවය යන කරුණු දෙකේදීම පිළිතුරක් බවට පත්වුණා. මේ අනුව ඝණ මිලිමීටර් එකක ප්‍රමාණයක් තුළ පෙටාබයිට් 5.5ක් (ගිගාබයිට් 125,000) ක්  ගබඩා කරන්න හැකි වෙනවා. වොෂින්ටන් සරසවියේ මහාචාර්ය Luis Ceze ට අනුව වර්තමානයේ අන්තර්ජාලය මඟින් පිවිසිය හැකි දත්ත ප්‍රමාණය වන හෙක්සාබයිට් 700ක පමණ සුවිශාල දත්ත ප්‍රමාණය සපත්තු පෙට්ටියක් තරම් කුඩා ඉඩකඩක තැන්පත් කිරීමට පුළුවන්.

ඔබ දන්නවාද? අයිස් යුගයේ විසූ යෝධ මැමත් සතුන්ගේ පොසිල බවට පත්වූ ශරීර කොටස් වල පවතින ඩීඑන්ඒ තොරතුරු ලබා ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. ඉතින් මේ වන විට ඔවුන් මියගොස් වසර දහස් ගණනක් වෙනවා. එසේනම් සුදුසු තත්ත්වයන් යටතේ ඩීඑන්ඒ දත්ත ගබඩාවකට වසර මිලියන ගණනක් උනත් සුරක්ෂිතව දත්ත තැන්පත්කර තබා ගැනීමට හැකි බව මේ අනුව ඔප්පු වෙනවා.

ඉහත සඳහන් කළ පර්යේෂණයේදී ඔවුන් මොනවාද ඩීඑන්ඒ දාමයක් තුළ තැන්පත් කළේ? භාෂා 100කට පරිවර්තනය කරන ලද මානව හිමිකම් ප්‍රඥප්තිය, ගුටෙන්බර්ග් (Project Gutenberg) ව්‍යාපෘතියේ හොඳම පොත් සියය. බීජ දත්ත පද්ධතිය සහ HD මියුසික් වීඩියෝවක් (OK Go’s This Too Shall Pass) මේ සඳහා ඇතුළත්ව තිබුණු අතර පැන්සල් තුඩක් තරම් කුඩා ඉඩක ඉහත සඳහන් කළ මෙගාබයිට් 200ක තරම් දත්ත ප්‍රමාණය තැන්පත් කර තිබුණා.

ලෝකයේ තිබෙන දත්ත ප්‍රමාණය දෙස බැලුවාම ඒවා මැනීම සඳහා ගිගාබයිට්, ටෙරාබයිට් වැනි ඒකක යොදාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙගාබයිට් 200ක් කියන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්නෙ. නමුත් මෙම පර්යේෂණය වැදගත් වෙන්නේ මීට පෙර සිදු කරන ලද පර්යේෂණ වලදී කිලෝබයිට කිහිපයක් පමණයි මේ විදිහට ගබඩා කිරීමට හැකි වී තිබෙන්නේ. ඒ අනුව 2012 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ජෝර්ජ් චර්ච් (George Church) විසින් කිලෝබයිට් 700ක ප්‍රමාණයෙන් යුතු ඔහුගේ ඊබුක් එකක්  මේ විදිහට තැන්පත් කර තිබුණා.

මයික්‍රොසොෆ්ට් සමාගම සහ වොෂින්ටන් සරසවිය එකතුවෙලා හැදුණු මෙම කණ්ඩාවම විසින් ඩීඑන්ඒ දාම  වල පවතින ස්වභාවික කේත සහ පරිගණක තාක්ෂණයේදී භාවිතා වන ඩිජිටල් නොහොත් ද්වීමය කේත වල පවතින සමානතා ගැලපීමෙන් මේ හපන්කම කරලා තිබෙන්නේ.

ඩීඑන්ඒ
මහාචාර්ය Luis Ceze සහ පර්යේෂක Lee Organick විසින් ඩිජිටල් දත්ත සහිත ඩීඑන්ඒ  අණු වෙන් කරමින් සිටින අවස්ථාවක්

මහාචාර්ය තුමා මේ විදිහට පවසනවා.

මේ සඳහා ගොඩක්ම උනන්දු විය හැකි කාරණාව වෙන්නේ ඩීඑන්ඒ වලට ස්වභාවිකවම ඩිජිටල් කැමැත්තක් පවතිනවා. එහි ඇති භෂ්ම 4ක් කිසියම් අනුපිළිවෙලකට අනුව සැකසී තිබෙන ආකාරයක් අපි දන්නවා. ඉතින් පළමු පියවරේදි As, Cs, Gs සහ Ts ලෙස පවතින භෂ්ම රටා වලට ඩිජිටල් දත්ත 1 සහ 0 වශයෙන් ගැලපීමක් ලබා දිය හැකි බව සඳහන් කරන්න පුළුවන්.

පොලිමරේස් දාම ප්‍රතික්‍රියක තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් අවශ්‍ය දත්ත සොයාගැනීමට හැකිවන පරිදි ලිපිනයන් ලබා දීම මීළඟට සිදු වෙනවා. ඉන්පසුව රසායනික වශයෙන් ඩීඑන්ඒ රටාවන් සකස් කරනු ලබනවා. එය අවසන් වූ පසුව ඩීඑන්ඒ අණු පරීක්ෂා නලයකට දමා විජලනය කොට උණුසුම සහ ආලෝකය රහිත ස්ථානයක ගබඩා කර තබාගැනීමෙන් වසර දහස් ගණනක් වුවත් දත්ත නොනැසී තබාගැනීමට හැකියි.

කෙසේ නමුත් මෙම තාක්ෂණය භාවිතයට පැමිණෙන විට පවුලේ පින්තූරයක්, සුරතලෙකුගේ වීඩියෝවක් වැනි දෙයක් ගබඩා කරන්නටත් විශාල කාලයක්, තාක්ෂණයක් සහ මුදලක් වැය වේවි. ඒකට හේතුව මේ සඳහා අවශ්‍ය විය හැකි උපකරණ ගැන සැළකීමේදී එය පුදුමයක් නොවෙයි. ඒත් සල්ලි කියලා බලන්නෙ නැතුව පර්යේෂණය නම් ඉදිරියටම යන බවයි පෙනෙන්නට තිබෙන්නේ.

පහත වීඩියෝවෙන් මෙම ව්‍යාපෘතිය ගැන පර්යේෂණ කණ්ඩායම දක්වන අදහස් බලන්න පුළුවනි..

Source: University of Washington, Microsoft

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.