“ජයතිලක මණ්ඩපය” මහනුවර කිරි මුහුද මැද සොඳුරු දූපත

 “ජයතිලක මණ්ඩපය” මහනුවර කිරි මුහුද මැද සොඳුරු දූපත

මහනුවර නගරය සමග වූ අනන්‍යතාවය ගොඩ නැගෙන්නේ දළදා මාලිගාව සහ ඒ වටා දියරැළි නගන කිරි මුහුදු නිසාම බැව් රහසක් නොවේ. නගරයට සිසිලස සමග සුන්දරත්වය ගෙනෙන කිරිමුහුද සමග වූ අතුරු කතාවන් අසන්නට ලැබීම වැව් දියවර සිහිලස වගේම හිතට සැනසිලිදායක මිහිරක් කිව්වත් වරදක් නැහැ.

සිංහලේ අවසන් රජු – ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

දිනපතා පුරුද්දක් ලෙසින් අවට පරිසර සිරි විඳින ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා දිනක් අහම්බෙන් කිරි ඉබ්බෙක් දුටු අතර එතුමා රජෙක් වුනත් කිරි ඉබ්බා ගැන ඇති වුයේ සත්ව කරුණාවයි. මේ කිරි ඉබ්බාට තමාගේම මාළිගාව ආසන්නයෙන්ම ඉඩ වපසරියක් ලබා දෙමින් වසරක් පමණ කාලයක් මේ කිරිඉබ්බා රජතුමාගේ සැලකිලි සත්කාර ලබමින් කාලය ගෙවන්නට විය.

තමන්ගේ නගරයේ අභිමානය වෙනුවෙන් නගරය වටා වැවක් ඉදිකරන්නට රජතුමාගේ අදහසක් ඇති විය. නගරය වටා වූ වැවෙන් සිසිලස මෙන්ම ආරක්ෂාවද සැලසෙන අතර සුන්දරත්වය ඉස්මතු වෙන්නටත් වැව නගරයට ආභරණයක් විය. මේ වෙනුවෙන් ජලය ලබා ගත්තේ දුනුමඩලා ඔයෙන්ය. මේ වැව වටා අදටත් දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකරන ලද්දේ දේවේන්ද්‍ර මුලාචාරියා විසින්ය. රජතුමාට අවශ්‍ය වුනේ මුහුදක මෙන් මෙම වැව් දියවරෙන්ද රැළි නැගෙනු දැකීමයි. ඒ නිසා වැව වටා වළාකුළු බැම්මක් ඉදිකරවන ලදී.

මට මේ වැවේ දියරැළි නගමින් අවට වනාන්තරයේ සිට හමන සුළඟ ඉතාම සුවදායකයි… ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා නිරන්තරව එසේ සඳහන් කළේ පරිසරය තරම් හිත නිවන සම්පතක් තවත් නැති බවට වූ සහතිකය සමගය.

දළදා මාළිගාවේ පත්තිරිප්පුව ඉදිකරනු ලැබුවේත් මෙම දේවේන්ද්‍ර මුලාචාරියා විසින්ය. කෙසේ වුනත් අන්තිමේදී රජතුමා විසින් මෙම මුලාචාරියා වැවේ ගිල්වා මරා දමා ඇත. ඒ ගැන අදහස් දක්වමින් බොහෝ දෙනා කියා සිටියේ මෙම වැව ඉදිකරන විට පොළවේ සිටි හිකනළුන් වැනි ගොඩබිම වෙසෙන කුඩා සතුන් බොහොමයක් මරණයට පත් වූ අතර දේවේන්ද්‍ර මුලාචාරියා ඒ ‍ප්‍රාණඝාත අකුසලයන් වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන ලද බවයි. කෙසේ වුනත් රජතුමා කිරි ඉබ්බාට නම් බෙහෙවින් කාරුණික වූයෙන් කිරි ඉබ්බාට වැව අසබඩ වාසස්තානයක් ලබා දී ඇත.

දේවෙන්ද්‍ර මූලාචාරී

මේ අතර වැව මධ්‍යයේ උස් කඳු කොටසක් තිබුන අතර එය අලංකාර දූපත් ලෙසින් සකසන ලදී. අදටත් වැව මැද සුදිලෙන මෙම දූපත ”ජයතිලක මණ්ඩපය” ලෙසින් හඳුන්වා ඇත. මෙම දූපත දුනුකේ, අරලිය වැනි සිසිල දෙවන ශාකයන් සහ මල්වලින් අලංකෘත වූ අතර රජතුමා සිරිතක් ලෙසින් මෙම ලතා මණ්ඩපයේ දිනකට පැය කිහිපයක්ම ගෙවා නැවත මාලිගාවට පැමිණේ. ජයතිලක මණ්ඩපයට යෑම ඒම වෙනුවෙන් අකුලන පාලමක් විය. අදට එම පාලම භාවිතයේ නැතත් ජයතිලක මණ්ඩපයේ ගඩොල් අත්තිවාරම එහි ඉතිහාසයට සාක්ෂි දරයි. මහනුවර නගර මධ්‍යයේ දී ඉතා අලංකාරව දිස් වෙන මෙම ජයතිලක මණ්ඩපය සංස්කෘතික ත්‍රිකෝණය මගින් සංරක්ෂණය කර ඇති නිසාම  අනාගතය වෙනුවෙනුත් ජයතිලක මණ්ඩපය විරාජමානවෙනු ඇත.

දැනුම බෙදා හදා ගනිමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *