ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය සිදු කරගන්නේ කෙසේද?

 ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනය සිදු කරගන්නේ කෙසේද?

අපි හැමෝගෙම ප්‍රාර්ථනය වන්නේ දරුවන් හොඳින් ඉගෙනගෙන සමාජයේ හොඳ පුරවැසියෙකු වෙනවා දැකීම සහ හොඳ රැකියාවක නියුතු වෙනවා දැකීමයි. වර්තමාන සමාජයේ දී උගත්කම ඉතා වැදගත් මාතෘකාවක් වෙනවා. දරුවන්ගේ ඉගෙනුම අත්‍යවශ්‍ය කාරණයක් වීම මෙයට බලපාන ප්‍රධාන හේතුවයි. යම් දරුවෙකු අනාගතයේ දී කුමන රැකියාවක නියුතු වුවද, ඔහුගේ රැකියාවේ දියුණුව සහ රැකියාවේ උසස් බව ලැබීම උදෙසා ඔහු කොතෙක් දුරට අධ්‍යාපනය ලබා තිබේදැයි යන කාරණාව ඉතා වැදගත් වෙනවා. එම නිසා සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු වෙනවා. එමෙන්ම දරුවාගේ බුද්ධි වර්ධනය සිදු කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගත හැකියි.

දෙමාපියන්ගේ අධ්‍යාපන මට්ටම

සමහරුන් පවසන්නේ දෙමාපියන්ගේ අධ්‍යාපන තත්ත්වය දරුවාගේ බුද්ධිය උදෙසා අත්‍යවශ්‍ය වන බවයි. නමුත් වර්තමානයේ දී එම මතය බැහැර කරමින්, අවම පාසල් අධ්‍යාපනයක් ලබා ගත් දෙමව්පියන්ගේ දරුවන් පවා උසස් අධ්‍යාපනය අවසන් කර ඉතා ඉහළ මට්ටමේ රැකියා වල නිරත වන බවට උදාහරණ ඔබ දැක ඇති. මේ අනුව නිගමනය කළ හැක්කේ දරුවාගේ බුද්ධි මට්ටම කෙරෙහි දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම බලපෑමක් නොකරන බවයි.

හැකිතාක් දුරට දරුවාට මව්කිරි ලබා දීම.

අවම වශයෙන් මාස 06ක් වත් වන තෙක් දරුවාට මව්කිරි ලබා දීම අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා. ඊ‌ට හේතුව වන්නේ, මව්කිරි තුළ දරුවාගේ වර්ධනයට අත්‍යාවශ්‍ය සියලු ම පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වන නිසාය. එමෙන් ම දරුවාගේ සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිර්මාණය වන්නේද දරුවාට ලැබෙන මව්කිරි ප්‍රමාණය අනුවය. මේ නිසා ඝන ආහාර ලබා දෙන කාලයේ වුවද හැකි තරම් කාලයක් දරුවාට මව්කිරි දීම අත්‍යවශය වෙනවා.

ස්වභාවික එළවළු – පළතුරු ආහාරයට එක් කරන්න.

ඔබේ දරුවා ට හැකි තරම් ස්වභාවික පරිසරයේ වැවෙන එළවළු හා පළතුරු ආදිය ලබා දෙන්න. මෙහි දී පළා කොළ ලබා දීම දරුවෙකුගේ බුද්ධි වර්ධනයට ඉතා වැදගත්. එමෙන් ම විවිධ වර්ණ වලින් යුතු එළවළු පළතුරු ලබා දීම ඉතා සුදුසු වෙනවා. ආයුර්වේදයට අනුව දරුවෙකුට ගිතෙල් ආහාරයට එකතු කිරීම මඟින් ඉතා ඉහළ පෝෂණ අවශ්‍යතාවයක් සපිරෙන බව සොයාගෙන තියෙනවා. එමෙන් ම මස් මාංශ ආහාර අඩුවෙන් ලබා දීම සුදුසු බව වර්තමානයේ දී විවිධ පර්යේෂණ මඟින් හෙළි වී තිබෙනවා. ඒ වෙනුවට කෙඳි සහිත ආහාර ලබා දීම දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමකින් වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මෙහි දී විවිධ ධාන්‍ය වර්ග ලබා දීම ඉතා සුදුසු වෙනවා සේ ම කෘත්‍රිම ව සැකසූ ආහාර දීම මඟින් දරුවන් විවිධ රෝගාබාධ වලට මුහුණ දෙන බව සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා.

ප්‍රමාණවත් ජලය ලබා දීම

දරුවෙකුට දිනකට ප්‍රමාණවත් පරිදි ජලය ලබා දිය යුතු වෙනවා. දරුවෙකුගේ දහඩිය හා මුත්‍රා මඟින් සැර ගන්ධයක් වහනය වෙනවා නම්, එම දරුවාගේ දෛනික ජල පරිභෝජනය ඉතා පහළ අගයක් ගන්නවා. මේ අනුව එම දරුවාට ජලය වැඩිපුර ලබා දිය යුතු වෙනවා. දිනකට අවශ්‍ය පානීය ජල ප්‍රමාණය අනුව දරුවෙකුගේ නිරෝගී බව රඳා පවතිනවා. දරුවාගේ ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට හා දරුවාගේ බුද්ධි වර්ධනයට ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරම අත්‍යවශ්‍ය වෙනවා.

ප්‍රමාණවත් නින්ද

දරුවෙකුට ප්‍රමාණවත් නින්දක් ලබා දීම එම දරුවාගේ බුද්ධි වර්ධනයට මනා පිටුබලයක් වෙනවා. එනම් දරුවෙකුට අවම වශයෙන් පැය 07ක වත් නින්දක් අත්‍යාවශ්‍ය වෙනවා. මේ කාලය තුළ දරුවාගේ මොළයේ සෛල වර්ධනය වීම ඇතුළු බොහෝ අත්‍යාවශ්‍ය ක්‍රියාවලීන් රැසක් ම සිදු වෙනවා. එනිසා දෙමාපියන් දැනගත යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ දරුවන්ට අනිසි බලපෑම් නොකර සුදුසු නින්දක් ලබා දීම එම දරුවාගේ මැරුණු සෛල, පටක නැවත සකස් වන්නේ ද මෙම නින්දේ දීය. සිරුර මනාව සකස් වීමට නම් නින්ද අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා.

සුදුසු සමාජ වටපිටාවක්

දරුවෙකුට පාඩම් කටයුතු ඉතා හොඳින් සිදු කිරීම සඳහා ශබ්ධවලින් තොර ස්වභාවික පරිසරය පෙනෙන පරිදි සැකසූ පරිසරයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. දරුවාට සුදුසු පාඩම් මේසයක් පුටුවක් හා සුදුසු කාමරයක් තිබීමත් අවශ්‍ය වෙනවා. ලා වර්ණයෙන් යුතු මේස රෙද්දක් දැමීමද සුදුසුයි. ප්‍රධාන වශයෙන් ම නිවසේ පිරිස අතර සිදුවන වාද විවාද නවතා දැමිය යුතු වෙනවා. දරුවාට පාඩම් කිරීමට හොඳ නිදහසක් ඇති සුවදායී පරිසරයක් තිබීම ප්‍රධාන කරුණක් වෙනවා. නුසුදුසු පොත්පත්, සඟරා, ටෙලිනාට්‍ය වැනි දෑ නැරඹීමට අවස්ථාව ලබා නොදීම වැදගත්. එමෙන් ම නවීන තාක්ෂණය ඔස්සේ දරුවාට ඉගෙනීමට පරිගණක, ටැබ්, ස්මාර්ට් දුරකථන ආදිය ලබා දීමේ දී මනා විනයක් සහිත ව ආරක්ෂාකාරීව එම තාක්ෂණය පරිහරණය කිරීමට දෙමාපියන් දරුවා දැනුවත් කළ යුතුය. එම උපකරණ ප්‍රසිද්ධියේ නැරඹීමට ලබා දිය යුතුයි. ඒවා භාවිතයෙන් දරුවන් නොමඟ නොයන පරිදි නවීන තාක්ෂණය දරුවාට ලබා දීමට දෙමාපියන් වගබලාගත යුතුය.

දරුවාගේ හැකියා අගය කරන්න.

වර්තමානයේ දෙමාපියන්ට වරදින තැන මෙතන ය. එනම් බොහෝ දෙමාපියන් සිතන්නේ දරුවා යනු වැඩිහිටියෙකුගේ කුඩා අනුරුවක් ලෙසටය. මෙය බරපතල වරදකි. දරුවන්ගේ යම් වරදක් දුටු විට දෙමාපියන් කලබල වී දරුවන්ට බැන වැදීම, තරවටු කිරීම හා දඬුවම් කිරීම ඉතා බරපතල වරදකි. දරුවෙකුගේ වරදක් දුටු විට දෙමාපියන් කළ යුත්තේ දරුවාට එම වරද වටහා දී එම වරදින් දරුවා මුදවාලීම මිස දරුවාට දඬුවම් කිරීම නොවේ.

එමෙන් ම දරුවාගේ හැකියාවන් අගය කිරීම දරුවාගේ බුද්ධි වර්ධනයට බලපාන ප්‍රධාන කාරණාවකි. දරුවෙකුගේ යම් ක්‍රියාකාරකමක් තුල බොහෝ වැරදි තිබීමට පුළුවන. නමුත් එම වැරදි රාශිය තුළ කුඩා හෝ හොඳක් සොයා එය ඔස්සේ දරුවා අගය කිරීම දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමකි. තව ද කිසිදාක තම දරුවන් පිටස්තර පුද්ගලයන් ඉදිරියේ ලැජ්ජාවට හා අවමානයට ලක් නොකළ යුතු ය. මෙලෙස සිදු කිරීම තුළින් දරුවා තව තවත් ඉගෙනීමට හා අත්හදා බැලීම් වලට ප්‍රිය වේ එය බුද්ධි වර්ධනයට අත්‍යාවශ්‍ය කරුණකි. දරුවා අගය නොකිරීමෙන් හා දරුවාගේ වැරදි ම පෙන්වමින් දරුවා අවමානයට පත් කිරීමෙන් සිදු වන්නේ, මානසික ව ඇද වැටීම සහ දරුවා විසින් නව ක්‍රියාකාරකම් සිදු කිරීම නවත්වා දැමීමයි. මේ නිසා දෙමාපියන් වශයෙන් දරුවා හට නොයෙකුත් ක්‍රියාකාරකම් සිදුකිරීමට ඉඩ සලසා දිය යුතුය.

දරුවන් සමඟ දෙමාපියන්, වැඩිහිටියන් නිතර කතා බහ කළ යුතුය. දරුවාට අතීතය පිළිබඳ කරුණු කාරණා කියා දිය යුතුය. දරුවාගේ සිත තුළ උපදින නව අදහස් වලට ඇහුම්කන් දිය යුතුය. දරුවාගේ ප්‍රශ්න වලට නිවැරදි පිලිතුරු කියා දීම සහ ලෙඩ රෝග ගැන සොයා බලා පිළියම් කිරීමද වැදගත්ය. දරුවන්ට කෙඳි සහිත ස්වභාවික ආහාර ලබා දෙන අතර කෘත්‍රිම ආහාර ලබා නොදීම සහ සුදුසු නින්දක් ලබා ගැනීමට උපකාර කළ යුතුය.

මේ සියලු කරුණු මනාව ක්‍රියාත්මක කරන්නේ නම්, ඔබට හොඳ බුද්ධි මට්ටමක් සහිත දක්ෂ දරුවෙකු ලොවට දායාද කිරීමට හැකියාව ලැබෙනු නොඅනුමානය.

දැනුම බෙදා හදා ගනිමු.
ගයත්‍රි ශෂිකලා

ගයත්‍රි ශෂිකලා

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *