ඔබේ ස්වයං නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගන්න.

 ඔබේ ස්වයං නිර්මාණශීලී හැකියාවන් වැඩි දියුණු කර ගන්න.

නිර්මාණශීලී වෙනව කියන එකත් හිතල බලද්දි හරිම අමාරු දෙයක් වගේ පේන්නේ. අරයට වගේ මට ලස්සනට කවි ලියන්න බැහැනේ. අහවලාට වගේ ලස්සනට චිත්‍ර අඳින්න බැහැනේ ආදී වශයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නන් සමඟ තමාගේ හැකියාවන් සංසන්දනය කිරීමට යාමෙන් තමයි තමන්ගෙ නිර්මාණයක් කවදාවත් බිහි නොවෙන්නේ. සමහරවිට ඔබට චිත්‍ර අඳින්නට හෝ කවි ලියන්නට නොහැකි වේවි. නමුත් ඔබ ඔබේ දක්ෂතා නිසි පරිදි හඳුනාගත්තොත් මෙතෙක් නොදුටු ඔබගේ රංගන හැකියාවක් හඳුනාගන්නට හැකි වේවි. ඒ අනුව ඔබගෙන් බිහිවන අලුත් නාට්‍යයත් සුන්දර නිර්මාණයක් වේවි. මේ දේවල් සඳහන් කලේ උදාහරණයකට විතරයි.

මේ ලෝකෙ දැනට දකින්න, අහන්න නැති අලුත් දෙයක් කරන එක නව නිර්මාණයක් විදිහට සළකන්න පුළුවන්. ඒ නිසා නිර්මාණ කියලා අදහස් කරන්නේ කවි, සිංදු, නාට්‍ය හා චිත්‍ර වගේ දේවල්ම විතරක් නෙවෙයි. ඔබ විසින් නිර්මාණය කරනු ලබන අලුත් උපකරණයක්, ඖෂධයක් වගේ දෙයක් උනත් නව නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවනි.

මේ සියලු දේ සඳහා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ ඔබගේ සැඟවුණු හැකියාවන් ඔබ විසින්ම හඳුනා ගැනීමයි. අන්‍ය නිර්මාණ කරුවන් සමඟ ඔබව සසඳන්නට යෑම නොකළ යුතුයි. ඒ වගේම වෙනත් නිර්මාණ අනුකරණය කිරීමත් නුසුදුසුයි. එවිට ඔබේම ශෛලියකින් නව නිර්මාණ බිහි කිරීමට ඔබට හැකිවනවා නොඅනුමානයි.

කොහොම උනත් අලුත් නිර්මාණයක් කරන්න හිතුවම අපිට එය දැඩි අවශ්‍යතාවයක් ලෙස දැනෙන්න පුළුවන්. එතකොට අපේ මනස මුරණ්ඩු වෙලා සිතේ ඒකාග්‍රතාවය බිඳ වැටෙනවා. එකඟ වූ සිතකින් තමයි ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පහත කරුණු කියවා බැලුවම හොඳ නිර්මාණයක් බිහි කිරීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අවබෝධයක් ඇතිවේවි.

1. දවසකට වෙන කෙනෙක් වගේ වෙන්න.

මේ කියන්නෙ කාගෙවත් නිර්මාණ කොපි කරන්න කියලා නම් නෙවෙයි. ඔබ කැමති ප්‍රසිද්ධ හෝ වෙනත් සමාජයේ චරිත ඕනෑතරම් ඇති. ඔබ ඒ අතරින් කැමතිම කෙනෙක් තෝරගෙන දවසකට එයා වගේ වෙන්න. ඒ කෙනා ඇවිදින විදිහට, කතාබහ කරන විදිහට,හැසිරෙන විදිහට ඔබත් සිදු කරන්න. ඔබට අවශ්‍ය නම් ඔබේ කැමතිම කවි ලියන නිර්මාණ කරුවා මේ ආකාරයට අනුගමනය කිරීමට උත්සාහ කරන්න. මෙමඟින් ඔබේ නිර්මාණ ව්‍යාපෘති සිදු කිරීමට සිතෙහි ඇති බාධා ඉවත් වීමක් සිදු වේවි. ඔබගේ මනසටත් ඒ පුද්ගලයා වගේ දක්ෂ කෙනෙක් බවට පත්වෙන්න කැමති වෙන නිසා අලුත් නිර්මාණ බිහි කිරීමට හැකියාවක් ලැබේවි.

දවසකට උනත් ඔබ අනුගමනය කරන කෙනා ළඟ දුම් පානය වගේ නරක පුරුදු තියෙනවනම් ඒවා අනුකරණය නොකර ඉන්න කියලත් ඔබෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

2. දවල් හීන දකින්න.

සමහරු නම් දවල් හීන දකින්න හරිම අකමැතියි. දවල් හීන කියන්නෙ ඇස් පියාගෙන නිදා නොගත්තත් ඇහැරිලා ඉන්න වෙලාවට හිතින් හිතන දේවල්නේ. නිදහසේ ඉඳගෙන ඉන්න වෙලාවට ඔබට දවල් හීන දකින්න පුළුවනි. මේකෙදි දවල් හීනය වෙන්නෙ ඔබේ අලුත් නිර්මාණය අවසන් කරන ආකාරයයි. එසේත් නැතිනම් හොඳ නිර්මාණකරුවෙකු වීමේ ඔබේ අදහස මුදුන්පත් කරගතහැකි ආකාරය පිළිබඳව සිහින දැකීමයි.

සමහරු නම් කාර්යාලයේ වැඩ කරන අතරතුර, මහමග ගමන් ගන්නා අතරතුර, පන්තියේ ගුරුතුමිය උගන්වන වෙලාවට එහෙමත් දවල් හීන දකින්න යනවා. හැබැයි ඉතින් තැන නොතැන නොබලා දවල් හීන දකින්න ගිහින් අනතුරක් වෙන්නත් පුළුවන් නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන එක වඩා හොඳයි.

3. සහයෝගයෙන් වැඩ කරන්න.

සමහරු නම් කවියක් දෙකක් ලිව්වට පස්සේ අති පණ්ඩිත නිර්මාණකරුවෝ බවට පත් වෙනවා ඔයාලා දැකලා ඇති. ඔය සමහර අලුත් ගායකයො එහෙමත් සිංදුවක් දෙකක් කියපු ගමන් ප්‍රවීණ තත්ත්වයට පත් වෙනවනේ. නමුත් හොඳ නිර්මාණකරුවෙක් විදිහට ඔබ කළ යුත්තේ ඔබගේ නිර්මාණ ක්‍ෂේත්‍රයට අදාළ වෙනත් නිර්මාණකරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමයි. එවිට ඔවුන්ගේ නිර්මාණ රසවිඳීමටත්, ඔබේ නිර්මාණ සඳහා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටත් ඔබට හැකි වේවි. සමහරවිට අනෙක් නිර්මාණකරුවො මුලින්ම ඔබේ නිර්මාණයට ගල් මුල් එල්ල කරාවි. නමුත් ඒ සියල්ල සතුටින් භාර ගන්න. ඒකට හේතුව තමයි හොඳ නිර්මාණකරුවො ඔබේ නිර්මාණයේ අඩුපාඩු පෙන්වා දෙන්නේ ඉරිසියාවට හෝ කුහකකමකට නෙවෙයි. ඇත්තටම එයාලා කැමතියි ඔයත් අඩුපාඩු හදාගෙන එයාලා වගේ හොඳ නිර්මාණ බිහි කරනවට.

සමහරවිට ඒ අයගෙ රසිකයින්ටත් ඔයාගෙ නිර්මාණ හඳුන්වාදීලා ඔබට සහයෝගය ලබා දේවි. ඒ නිසා ප්‍රවීණයන් හෝ කාලයක් නිර්මාණකරණයේ යෙදුන අය ආශ්‍රය කරන එකෙන් ඔයාට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ.

4. කියවන්න.

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා වගේම අනිවාර්යෙන්ම ඔබේ නිර්මාණයත් සම්පූර්ණ කරාවි. කියවීම මඟින් මනස විදාරණය කරන අතරම ඔබ තෝරාගත් ක්‍ෂේත්‍රයට අදාළව ඇති පොත්පත් කියවීම තුළින් ඔබේ නිර්මාණය අලුත් දිශාවකට යොමු කරන්නට අදහස් ලැබේවි. කියවීම මඟින් ඔබේ මොළයේ නිර්මාණශීලී පෙදෙස් අවදි වෙන අතරම අලුත් වචන, වාක්‍ය රටා සහ නව දැනුම ලබා ගනිමින් සාර්ථක නව නිර්මාණයක් බිහි කිරීමට ඔබට හැකි වෙනවා.

5. කටු සටහනක් අඳින්න.

එච්චර විශේෂ දෙයක් නොවෙන්න පුළුවනි. ඒත් කොළයක් පෑනක් අතට අරගෙන ඔබේ නිර්මාණයේ අදහස කටු සටහනකට නඟන්න. සමහරවිට මොකක්ද ලියන්නේ හෝ අඳින්නේ කියලා ඔබට අදහසක් නැති වේවි. ඔබ කඩදාසිය සහ පැන්සල අතේ තබාගෙන සිටින විට ඔබේ අතින් කිසියම් රූපයක් කුරුටු ගෑවේවි. ඒ ඔස්සේ තවත් තොරතුරු ඇතුළත් කරමින්, පාට කරමින්, තදඉරි, කඩඉරි, වක්‍ර රේඛා යොදාගනිමින් කිසියම් සටහනක් අඳින්නට ඔබට හැකි වේවි. ඔව්, ඒක හිතුව තරමටම ලස්සන නම් නැහැ. ඒත් මේ කටුසටහන දිහා හොඳට අවධානයෙන් බැලුවොත් ඔබේ මනස සිදු කරන්නට යන නිර්මාණයට කිසියම් මග පෙන්වීමක් ලැබේවි. ඔබේ පළමු කටු සටහන අවසාන නිර්මාණය බිහි නොකරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. නමුත් කිහිප වතාවක් කටු සටහන් කිරීමෙන් අනතුරුව ඔබේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ලෝකයට බිහි වේවි.

6. භාවනා කරන්න.

හොඳ නිර්මාණයක් බිහි කිරීමට නම් සැහැල්ලු සහ ඒකාග්‍ර වූ මනසක් තිබිය යුතුමයි. හිත තැන තැන යනකොට නිර්මාණයක් බිහි කරන්න අපහසුයි. මේකට තියන හොඳම ඖෂධය තමයි භාවනාව. භාවනාව මඟින් ඔබේ සිතුවිලි යහපත් කිරීමත්, සිත එක්තැන් කිරීමත් සිදු වෙනවා. දවල් හීන දකින එකට විරුද්ධ දෙයක් තමයි භාවනාව කියන්නේ. නමුත් භාවනාව මඟින් ඔබ දකින දවල් හීනය හැඩතල ගැන්වීමට වගේම නිවැරදි අයුරින් ආරම්භ කිරීමටත් ඔබේ මනස සූදානම් කිරීමට උපකාර වෙනවා. ඉතින් උදෑසනින්ම මිනිත්තු 15 – 20ක් භාවනා කරන්න පුරුදු උනොත් ඔබටත් ලස්සන නිර්මාණ බිහි කරන්න හැකි වේවි.

7. නිල් පාටට ආසා කරන්න.

ඔයාගෙ කැමතිම පාට නිල් පාට නොවෙන්න පුළුවන්. ඒත් ඉතින් නිල් පාටට ආසා කරලා බලන්නකෝ. එක්තරා අධ්‍යයනයකින් හොයාගෙන තියෙන විදිහට නිල් වර්ණය මඟින් නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරනවා. අහසේ සහ මුහුදේ රළ අතර අප දකිනා ලස්සන නිල් පැහැයන් අපේ සිතට සාමය ගෙන එනවා. මෙමඟින් මොළයට ලැබෙන පණිවිඩය වන්නේ අලුත් නිර්මාණයක් බිහි කිරීමට ආරක්ෂා සහිත යහපත් වටපිටාවක් සැකසී ඇති බවයි.

සමහරු නිර්මාණ සිදු කරන්න එළිමහනට හෝ මුහුදු වෙරළට යන්න ආසා කරන හේතුවත් ඒ තැන්වලදි අලුත් නිර්මාණාත්මක අදහස් ලැබෙන නිසා වෙන්න පුළුවනි.

8. රාත්‍රි කාලයේ වැඩ කරන්න.

තවත් අධ්‍යයනයකට අනුව (Journal of Environmental Psychology) පෙන්වා දෙන්නේ අඳුරු කුටියක් තුළ මද අඳුරේ වැඩ කිරීමෙන් නිර්මාණශීලී බව වර්ධනය වෙන බව හොයාගෙන තිබෙනවා. ගොඩක් නිර්මාණශීලී මිනිස්සු රාත්‍රී කාලයට තමයි වැඩ කරන්න ආසා කරන්නේ. ඒ වගේම ක්‍රියාශීලී විදිහට වැඩ කරන්නෙත් රාත්‍රී කාලයටයි.

නමුත් මද ආලෝකය සඳහා ෆ්ලොරසන්ට් ලාම්පුවක් භාවිතා කිරීම ඔබේ ඇස්වලට අපහසුවක් ගෙන දෙන අතර ඔබව නිද්‍රාවට පත් කිරීමට පෙළඹවීමක් ඇති කරනවා. මේ නිසා ඉටිපන්දම් එළිය වගේ මද ආලෝකයක් ඔබේ මොළය වෙහෙසට පත් නොකර ඔබේ අලුත් නිර්මාණය ඉක්මණින්ම බිහි කිරීමට අවස්ථාව සළසා දෙනවා.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

1 අදහස්

  • Being creative is same as our identy card

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *