සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..

 සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..

ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට අතීත හා වත්මන් සමාජ ක්‍රමය අතර ඇත්තේ අහසට පොළව තරම් පරස්පරතාවය කි. කෙමෙන් කෙමෙන් තාක්ෂණිකව දියුණු වූ සමාජය අතීතයට සාපේක්ෂව තරඟකාරී රටාවක හිර වී තිබීම මෙයට ප්‍රධාන හේතුවයි .මෙම හේතුව වත්මන් මිනිසාට ජීවිතය විඳීම වෙනුවට විඳවීමට බලපා ඇති ප්‍රබල බාධාවකි. එම නිසා විවේකය ජීවිතයේ නිදහස විඳීමට ඇති අත්‍යවශ්‍යම සාධකයකි.

එහෙත් මිනිසා විවිධ අයුරින් ඔවුනොවුන්ගේ ජීවිත විඳිති. ඇතැමෙක් රට වටා, ලොව වටා සංචාරය කරමින් ජීවිතය විඳී. සමහරු සංගීතයෙන් විඳියි. තවත් සමහරු අනුන්ට හිංසා පීඩා දෙමින්ද වින්දනයක් ලබයි. මෙහිදී අප සිතට ගත යුත්තේ අප අපේ විවේකී නිදහස, තමන්ටත් අනුන්ටත් අර්ථවත් වන ලෙස විඳින්නේ කෙසේද කියාය.

එදත් අදත් හෙටත් මිනිසාගෙන් කිසිම අයකිරීමකින් තොරව නෙත් සිත් පිනවූ, කොටින්ම ජීවිත පැවැත්මට පවා හේතු වූ සොඳුරුතම පිනවන්නා “සොබාදහම” යැයි කීවාට වරදක් නැත. අලංකාරය, මානසික සැනසීම, සිත ප්‍රබෝධමත් කිරීම, සංසුන් මනසක් ඇති කිරීම වැනි ධනාත්මක සිතුවිලි උපදවන්නටත්, ශෝකී සිත් මකා දමන්නටත් ඔබත් මමත් වටා පවතින තුරුලතා, කඳු ගංගා, සත්වයින් හා වනාන්තර වලින් සමන්විත සොබාදහම අපිට අමිල වස්තුවකි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරු දැරියන් වන ඔබට එකඟ වූ සැහැල්ලු සුවපත් මනසක් අත්‍යාවශම දෙයකි. සොබා පරිසරය වින්දනය කිරීමෙන් හා ඒ හා බැඳීමෙන් ඔබේ මනස සුවපත් කරගත හැකි බව ඔබ දන්නවා ද?

සිත් පිනවන ඕනෑම කලාවක් ඒකාකාරී බවින් මිදී විවිධත්වයකින් රසය දෙන විට විඳින්නාට අමිහිරි නොවේ. සොබාදහමද එක්තරා කලාවකි. ගැනිය නොහැකි තරම් විවිධත්වයකින් හෙබි එය විඳීම අමිහිරි දෙයක් නොවන බවට සැකයක් නොමැත. නමුත් ස්වභාවික පරිසරයද සැමටම විඳීමට නොහැක. මන්ද, එය විඳීමටද ආශාවක්, රසයක්, කලාත්මක ඇසක් අවශ්‍ය බැවිනි.

ඔබ අවට ඇති ගස්වැල් දෙස මඳක් විවේකීව බලන්න. කඳ අතු ඇඹරී විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ වී ගිය ඒවා කෙතරම් රිද්මයානුකූල රටා මවනවාද? වැසි නොමැති කල කොළ හැලී ගිය අතු පමණක් ශේෂ වූ විවිධ හැඩැති තුරු රටාවන් විඳින්නාට මනසේ සිත්තමක් මවයි.

ඉඩෝරය හමාර කර වසිනා වැස්සෙන් එම ගස් ලා පැහැයට හැරී නොයෙක් පාටින් තුරු පත් දළු දමා අලුත් සළු පිළි හැඳ විචිත්‍ර රූ රටා මවනවා ඔබ දැක තිබේද? වැස්සකට බර වී එන හතර වටින්ම තද නිල් පැහැයෙන් පොකුරු ගැසුනු අඳුරු ඝන වලාවන්ගෙන් පිරී ගිය ආකාශය දෙස බලා විඳින්නට හුරු වෙන්න. එය ඔබට භයංකාර ගුප්‍ත රසයක් දෙනු ඇත. වියළි මහ පොළව සිපගන්නා පළමු වැස්සෙන් පසුව නැගෙනා උණුසුම් සුවඳ ඔබ විඳ බලන්න. ඒ සුවඳ ඔබව ප්‍රබෝධමත් කරාවි. අපේ සිරිලක කොතරම් නම් සොබාව සෞන්දර්යන්ගෙන් පිරී ඉතිරී ගිය දේශයක්ද? විඳීමට ඔබ අවට කෙතරම් දේ තිබේද? ස්වභාවික පරිසර ය අතින් නම් විඳීමට ඇති දේ මෙතරම් යැයි පවසා නිම කිරීමට නොහැක.

එහෙත් අපි සැමට ඒ ස්වභාවික පරිසරය නොතිබීමට පුලුවනි. විශේෂයෙන්ම නාගරීකරණය වූ ප්‍රදේශ වල ඇත්තේ වනාන්තර නොව කොන්ක්‍රීට් වනාන්තරයි. එවැනි පෙදෙස්වල ජනයාට විඳින්නට එතරම් ස්වභාවික වටපිටාවක් නොමැත. නමුත් ආශාව සහ රස විඳීමෙී කැමැත්ත තියේ නම් ඔබට ඔබේ ගෙවත්ත ගස් වැල් , මල් ගොමුවන්ගෙන් විචිත්‍ර කරගත හැක. එයින් ඔබට සැමදා සිතට සතුටක් ජනනය කරන්නා සේම මානසික ආතතිය ද දුරු කරයි. ඔබේ නිවස, ගෙවත්ත දකින්නාට මෙන්ම ඔබටද ප්‍රිය උපදවන සුන්දර පාරාදීසයක් වනවා නොඅනුමානයි.

එහෙත් බොහෝ දෙනාට මේ සොබා රසය නැති නිසා අද ලෝකය විශාල විපත්තියකට මුහුණ පා සිටී. අද ජල උල්පත් සිඳී ගොස්ය. ආශ්වාස කරන්නේ විෂ වාතයක් ය. වායුගෝලයම උණුසුම් වී ඇත. පරිසරයට ආශා නැති, ඒ ගැන රසයක් නැති කෙනාට ගසක් දුටු විට පෙනෙන්නේ එයින් ලබන සුන්දරත්වය වත් සිසිලස වත් නොව එය සිඳ දමා කුට්ටි කර ලැබිය හැකි මුදලේ තරමයි. එහෙත් දිනක ඔවුන්ම වටහාගනීවි, ඒ ගස් කපා ලද මුදලින් තමන්ට ගසකින් ලැබූ සෙවණ සිසිලස ලද නොහැකි බව. එහෙත් එවිට සියල්ල විනාශ වී පෙරහැර ගොස් හමාරය. එවිට ඇත්තේ සොබාදහම විඳීමට නොව, එයට කල අපරාධයන්ට සොබාදහම මගින්ම දෙන දඬුවම් විඳවීමට බව සිහි තබාගන්න.

අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න. එවිට ගහක රහ දන්නා පරම්පරාවක් බිහි වේවි. වන විනාශ වෙනුවට වන වගා දියුණු වේවි. හිඟ වෙමින් යන ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ යාවි. සොබාදහම විවිධත්වයෙන් අනූන අපූරු කලාවකි. ඔබ ඔබට රස විඳීමට ලස්සන වටපිටාවක් ගොඩනගාගන්න. එය විඳින්න. එම විඳීම ඔබව සතුටින් තියාවි. ඉගෙනුම් කටයුතු මගින් ඔබේ මනස පීඩාවට පත් වී තිබේ නම් ඔබේ පීඩිත මනස සොභා මාතාව විසින් සනසාවි. බැඳෙන්න සොබාදම සමඟ, එය ඔබේ ජීවිතයටම ආශිර්වාදයක් වේවි.෴

දැනුම බෙදා හදා ගනිමු.
චමෝද් ශාලුත

චමෝද් ශාලුත

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *