Green Screen – හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක්

 Green Screen – හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක්

මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ Green Screen තාක්ෂණය ගැනයි. වර්තමානයේ කොරෝනා වෛරස අවධානම හේතුවෙන් බොහෝ දෙනෙක් නිවසේ සිට වැඩ කටයුතු කරගෙන යනවා. බොහෝ අවස්ථාවල ගුරු මහත්ම මහත්මින් පවා තමන්ගේ සිසු දරු දැරියන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා ඔන්ලයින් පහසුකම් භාවිතා කරනවා. මේ වෙද්දි zoom ඔන්ලයින් පන්ති පවත්වන ඔබ මුහුණ දෙන ගැටලුවක් තමයි, පන්තිය ආරම්භ කිරීමට කලින් හැඩි වෙලා තියෙන කාමරේ අස් කරන එක.

සමහර කෙනෙක් කියාවි, ගුරුවරයෙක් උනාම පිළිවෙලට කාමරේ තියන් ඉන්න එපැයි කියලා. නමුත් සමහර අයගෙ බබාල එහෙම කාමර හැඩි කරනවා. ඒ වගේ ම තවම කපරාරු ගහපු නැති බිත්ති තියන ගෙදරක ඉඳන් ඔන්ලයින් උගන්නනවා වෙන්න පුලුවනි. ඒ කොයි ආකාරයේ කෙනෙක්ට උනත් සුපිරි මන්දිරයක, මුහුදු වෙරළක හෝ ඔබ කැමති තැනක සිට ඔන්ලයින් පන්තිය මෙහෙයවීමට හැකියි.

ඔබ තවමත් ZOOM භාවිතයෙන් ඔන්ලයින් ඉගැන්වීම් සිදු කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම නොමැතිව ලත වෙනවා ද? මේ ලිපි ටික කියවලා බලන්න.

දැන් අපි ආයෙමත් මාතෘකාවට බහිමු. මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නේ ඔබ ඔන්ලයින් පන්තිය සිදු කිරීම සඳහා කුමන ආකාරයේ ස්ථානයක සිටියත් ඒ සම්බන්ධව ඔබේ ප්‍රේක්ෂකයන්ට දැන ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි. තව දුරටත් පැහැදිලි කරනවා නම් එක් දිනක ඔබ මුහුදු වෙරළක් ආසන්නයේ පන්තිය සිදු කරන අතර තවත් දිනෙක අයිෆල් කුළුණ අසල හිඳගෙන ඉගැන්වීම සිදු කරාවි. උදාහරණයක් විදිහට ඔබ උගන්වන්නේ භූගෝල විද්‍යාව නම්, එදිනට නියමිත පාඩම කඳුවැටි සම්බන්ධ යැයි සිතමු. ඔබේ පිළිවෙල නොවූ කාමරයේ පසුබිම වෙනුවට ලස්සන කඳුවැටි පෙළක් ඔබේ පසුබිමේ පවතී නම් කෙරම් උචිත ද?

අවශ්‍ය ද්‍රව්‍ය –

දැනටමත් ZOOM ඔන්ලයින් පන්තියක උගන්වන ඔබට අවශ්‍ය බොහෝ දෑ දැනටමත් ඔබ සතුව පවතින බව නිසැකයි. අමතරව ඔබට අවශ්‍ය වන්නේ කොළ පැහැ යාර දෙකක පමණ දිග රෙදි කැබැල්ලක් (පොප්ලින් වැනි රටා යොදා නැති තනි වර්ණයේ රෙද්දක්) හෝ ඔබේ පිටුපසින් ඇති බිත්තිය කපරාරු කර ඇත්නම් කොළ පාට තීන්ත අවශ්‍ය වේ. කොළ පාට වාර්නිෂ් කඩදාසි වැනි දෙයක් වුණත් සුදුසුයි. එපමණයි. මේ ලිපිය ලියන මා භාවිතා කරන්නේ තනි කොළ පැහැ සාරියක කොටසකි. අවශ්‍ය ද්‍රව්‍ය එපමණයි.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් Zoom blog 2

දැන් කාමරයේ පරිගණක, කැමරා ආදී උපකරණ ඉදිරියේ මේ විදිහට කොළ පැහැ තිරය සකස් කර ගන්න. එතරම් අපහසු වැඩක් නොවන බව ඔබට ම වැටහේවි.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් WhatsApp Image 2021 05 28 at 11.12.06 PM

1. පළමුව රූපයේ පරිදි ඔබගේ කොළ පැහැ තිරය පසුබිමට වැටෙන පරිදි පරිගණකය සහ කැමරාව සකස් කර ගන්න.

2. දැන් ඔබේ  zoom තිරයෙහි ඔබ සහ ඔබ වටා කොළ පැහැ තිරය පමණක් දිස් විය යුතු ය. ඔබට මෙහි දී වයිට් බෝඩ් එකක් භාවිතා කළ යුතු නම්, කොළ පැහැ තිරයට උඩින් එය සවි කරන්න. මේ කාර්යය හේතුවෙන් වයිට් බෝඩ් එකේ ලිවීමට කිසිදු බාධාවක් වෙන්නෙ නැහැ. කොළ පැහැ green screen පසුබිම පමණයි වෙනස් කිරීමට ලක් වෙන්නෙ.

3. දැන් zoom ඇප් එකට ගොස් එහි සැකසුම් (Settings) වෙත යන්න. එහෙමත් නැත්නම් ඔබ  zoom meeting එක ආරම්භ කළ පසු එම තිරයේ වීඩියෝ කැමරා සලකුණට දකුණු පසින් ඇති කුඩා ඊ හිස ක්ලික් කිරීමෙන්ද පිවිසිය හැකිය.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් Capture zoom 1
Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් Untitled zoom video settings

4. දැන් ඔබට පහත ආකාරයේ තිරයක් ලැබේවි. එහි Background & Filter වෙත යන්න.

5. එම තිරයේ පහළ ඇති I have a green Screen ඉදිරියේ ක්ලික් කර හරි ලකුණ යොදන්න. දැන් ඔබට ඔබ සහ ඔබ වටා ඇති කොළ පැහැ තිරය කැමරාව තුළින් දර්ශනය වේවි.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් Capture zoom settings

6. මේ වන විට ඔබේ තිරය None ලෙස තේරී පවතීවි. එය වෙනුවට ඔබ කැමති පින්තූරයක් මත ක්ලික් කරන්න. එවිට එය ඔබේ පසුබිමින් දර්ශනය වේවි. එහි යම් අපහැදිලිතා පවතී නම් පහත රූපයේ රවුම් කර ඇති ස්ථානයේ ක්ලික් කරන්න. එවිට නැවත පින්තූරය ඉවත් වී කොළ පැහැ Green Screen එක දිස් වීමට පටන් ගනීවි. දැන් එම තිරයේ කොළ පැහැ වර්ණය මත ක්ලික් කරන්න. එවිට පසුබිමේ පින්තූරය නිසි ලෙස සකස් වේවි.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් Untitled zoom video settings 2

7. ඔබට අලුතෙන් පින්තූරය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් Add Image ලෙස ඊ හිසෙන් පෙන්වා ඇති ස්ථානයේ දී එය සිදු කළ හැකියි.

8. ඔබේ ඔන්ලයින් පන්තිය පැවැත්වෙන ස්ථානය හොඳින් ආලෝකය වැටෙන ස්ථානයක් වීම මෙය සාර්ථක ව සිදු කර ගැනීමට ඉවහල් වනු ඇත. ඔබේ මුහුණට හොඳින් ආලෝකය වැටෙන පරිදි සහ කොළ පැහැ තිරය මත සෙවණැලි නොවැටෙන පරිදි ආලෝකය පැවතීම ඉතා වැදගත් ය. ඒ සඳහා ඡායාරූප ගන්නා ස්ථාන වල මෙන් දෙපසින් බල්බ දෙකක් දල්වා පැවතීම වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දෙනු ඇත.

Green Screen - හැඩි වෙච්ච කාමරේ ඇතුලේ ඔන්ලයින් පන්තියක් file


මෙහි දී සමහරවිට ඔබේ ඇඳුම ඉවත් වී මුහුණ පමණක් දර්ශනය වීමට පටන් ගනීවි. එවිට බලන්න ඔබ හැඳ සිටින්නේ කොළ පැහැ ඇඳුමක් ද කියා. එයට හේතුව වන්නේ පසුබිම් තිරයේ වර්ණයට ආසන්න, බොහෝ විට කොළ, නිල් පැහැයට ආසන්න සියලු කොටස් ඉවත් කර එම ස්ථාන වලට පසුබිම් පින්තූරය ආදේශ කිරීමයි.

ලිපිය හොඳයි නම් ඔබේ හිතවතුන්ටත් දැන ගැනීමට ශෙයා කරන්න. නොමිලේ ලබා දෙන මෙම සේවාව තුළින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වෙමු.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.