ඩාවින්චිගේ මොනාලිසාවත් සොරකම් කරයි. අයිතිය නැවතත් ප්‍රංශයට


ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ වින්චි ගමේ පියරෝ ඩාවින්චි සහ කැතරිනා ඩාවින්චිට දාව උපන් ඔහු ලියනාඩෝ ඩාවින්චි නම් වූයේය. දැනුම ඔහු වෙත නොපැමිණියද ඔහු දැනුම සොයා ගියේය.
බාල කාලයේ ගෙයි බිත්ති පුරා දැලි අඟුරෙන් සිතුවම් අඳින විට පියා ඔහු වෙනුවෙන් උරන වූයේ නැත. පුතුගේ හැකියාවන් දැන ගත් ඔහු ඩාවින්චිගේ උපන් හැකියාවන් දියුණු කර ගැනීම සඳහා තම පුතා අන්ඩ්‍රියා වෙරෝචියෝ වෙත බාර දුන්නේය. හැදෙන ගහ දෙපැත්තෙන් පෙනේ කියන්නා සේ ඩාවින්චි ආධුනික කාලයේදි මහත් දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරන ලදී.
ඔහුගේ පළමු සිතුවම වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්මය නම් සිතුවමේ අඳින ලද දේවදූතයන්ගේ නිර්මාණයයි. මෙය දුටු ගුරුවරයාට තමා ගැන ලැජ්ජාවක් ඇති විය. මේ අතර මිලාන් නගරයේ ”වුඩෝ පෝර්සෝ” ආදිපාදවරයාට ඩාවින්චි ගැන අසන්නට ලැබුනෙන් ඔහු ඩාවින්චි සොයා නිවසට ගියේය. ඔහු විසින් තමාගේ පෞද්ගලික චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කරන්නට කැමැත්ත විමසා සිටි අතර ඩාවින්චි ඒ වෙනුවෙන් කැමැති වුයේය. ඒත් එක ඉල්ලීමක් තිබුණි. මුදල් අවශ්‍ය වුවත් චිත්‍රය වෙනුවෙන් එක් රාමුවකට කොටු විය නොහැකි බව ඔහු චුඩෝවිකෝට දන්වා සිටියේය. ඔහුද ඒ සඳහා අකැමැත්තක් දැක්වුයේ නැත.

ප්‍රංශයේ පළමුවන ප්‍රැන්සිස් රජතුමා ඉතාලියට පැමිණෙන විට ඩාවින්චි ලීසා සිතුවම වෙනුවෙන් කටු සටහනක් ගොඩ නගා තිබුණි. මේ කවුදැයි රජතුමා විමසා සිටි අතර ඇය ”ලීසා ” බව ඩාවින්චි කියා සිටියේය. රජමාලිගාවට පැමිණ මෙම චිත්‍රය අඳින්නට කියා සිටියෙන් ඩාවින්චි මාලිගයට ගොස් මෙම සිතුවම ඇඳ අවසාන කළේය.

එයින් පසුව මෙය මොනාලිසා යනුවෙන් නම් කළ අතර ‘මොනා’ යනු ඉතාලි භාෂාවට අනුව ආර්යාවයි. ‘මැඩෝනා’ යනු ආර්යාවයි. මෙම වචන දෙක එක්ව මෝනලිසා යැයි එම සිතුවමට නම් පටබැඳී ඇත.
මේ අතර පර්යේෂකයන් සඳහන් කරන්නේ මොනාලිසා චිත්‍රය වෙනුවෙන් ඩාවින්චි විසින් මොනාලිසා ජෙරාර්දිනී (Gherardini) නිරූපිකාව යොදා ගත් බවයි. ඇය ඉතාලියේ ධනවත් සේද වෙළෙන්ෙඳෙක් වූ ”ෆ්රැන්සිස්කෝ ඩෙල් ජියකොන්ඩේගේ” බිරිඳයි. මෙම සිතුවම ඉතාලියේදී ‘ලා ජියකොන්ඩා “(La Gioconda)” යනුවෙන් හැඳින්වේ. තම ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු මෙම කාන්තාව කන්‍යාරාමයක ජීවිතය ගෙවමින් සිට අවුරුදු 63 ක් ජීවත්ව සිට 1542 වසරේ ජූලි 15 වැනි දින අභාවයට පත් වූ බව සඳහන් වේ.

1911 වසරේ අගෝස්තු 21 වැනි දින මොනාලිසා සිතුවම ලූවර් කෞතුකාගාරයෙන් අතුරුදහන් විය. මුල් දවසේ මේ ගැන සෙවීමට කිසිවෙකුත් වෙහෙසුණේ නැහැ. හැම දෙනාම සිතුවේ නිල ඡායාරූප ශිල්පියා විසින් එය රැගෙන යන්නට ඇති බවයි. එහෙත් ඡායාරූප ශිල්පියාගෙන් කරුණු දැනගැනීමෙන් පසුව හැම දෙනාම කලබල විය. කෞතුකාගාරයේ අක්කර 45 ක බිම් ප්‍රදේශයේ මෙම සිතුවම සොයන්නට විය. එහෙත් හමු වුනේ ලී රාමු පමණි. පිටපත් ගැනීමට මෙය රැගෙන යන්නට ඇතැයි සමහරු අනුමාන කළහ. ඒ අතර පැබ්ලෝ පිකාසේ සහ පැරිසියේ කවියෙකු වුන ගුලියාමේ ඇපොලිනෙරේ මෙම සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි. එක් වතාවක් පිකාසෝ කෞතුකාගාර නිර්මාණ රැගෙන ගොස් තිබීම නිසා සාධාරණ සැකයක් ගොඩ නැගී තිබුණි. එහෙත් මෙවර කිසිම දෙයක් සනාථ නොවූ නිසා පිකාසෝ නිදහස් කරන ලදී.

රාත්තල් 18 ක් බර සිතුවම සොරා ගත් පුද්ගලයා වූයේ වින්සෙන්සෝ පෙරුගියා නැමැත්තෙකි. ලූවර් කෞතුකාගාරයේ සේවය කළ පෙරුගියා ඉරිදා රාත්‍රියේ කෞතුකාගාරයේ සැඟව සිට මෙම සිතුවම සමග සඳුදා පිටව ගියේය.

යුරෝපා කලාකෘති සොරකම් කරන කණ්ඩායම් සිටින නිසා පෙරුගියාද ඉතාලි ජාතිකයෙක් නිසා මෙය තමාගේ රටට ගෙන යන්නට, සොරකම් කරන්නට ඇතැයි බෝහෝ දෙනා විශ්වාස කරනු ලැබුවා. මෙම සිතුවම අලෙවි කිරීමට ඔහු ගිවිස ගෙන සිටියේ ඉතාලියේ ෆොලරන්ස් නගරයේ ඇපෙඩ්රෝ ග්‍රේරෝ යන තැනැත්තා සමඟය. ඔහු පැමිණෙන විට පෙරුගියා සොරකම වෙනුවෙන් චෝදනා ලබා සිටියේය. ඒ අතර බොහෝ දෙනා පෙරුගියා වීරයෙක් ලෙසින් සැලකූහ. මාස හතක සිර දඞුවමක් වෙනුවෙන් තීන්දුව ලබා දෙන ලදී. 1925 වසරේ පෙරුගියා මිය ගිය අතර ඉතාලිය මොනාලිසා සිතුවමේ අයිතිය ප්‍රංශයටම ලබා දුන්නා.