බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත…

 බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත…

බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත….

පාසල් අධ්‍යාපනය හදාරන සහ තරුණ වියේ දිවි ගෙවන අපේ දරු දැරියන් හට සුන්දර ගී පෙළක් තිළිණ කිරීම සහ ඔවුන්ගේ රසාස්වාදනය උසස් තලයකට රැගෙන යාම අරමුණු කරගනිමින් ගීයක අරුත "දරුවන්ගේ රසවින්දනයට අරුත්බර ගී" නමින් මෙම ලිපි පෙළ ඔබ හමුවට ගෙන එන්නෙමු.


බිම වැටුනු කිරි දතට හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා..
අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා..
මැටි ගෙදර අපේ කිරි අම්මා..

රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තිබෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා..
මා නමින් ගෙයි ඉදෙන කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා..
මැටි ගෙදර අපේ කිරි අම්මා..

මැටි ගෙදර තිබුනු තැන ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා ..
වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා…
මැටි ගෙදර අපේ කිරි අම්මා…

රජී වසන්ත වෙල්ගම විසින් ලියන ලද ගීතය ගයන්නේ කරුණාරත්ත දිවුල්ගනේ මහතා විසිනුයි.

මෙම ගීතය අතීතය පාදක කර ගත් සිදුවීම් කීපයක් අපුරු සංකල්පනාවක් බෙහෙවින් රමණීය ලෙසින් ඉදිරිපත් කර තිබේ. අතීතයේදී දතක් වැටුන විට ලේනාට එය දී ලේනාගෙන් දතක් ඉල්ලා සිටම ඉතාම අහිංසක සිදුවීමක්. නමුත් රචකයා එය දකින්නේ අහිමි වුන දෙයක් ගැන ලතැවිල්ලෙන් පසුවීමට වඩා හිත හදා ගෙන ජීවිතයට මුහුණ දීමේ අභියෝගය ඔහුට ලබා දුන්නේ අත්තම්මා නැමැති ඒ අපුරු පුරුක බවයි.

අතීතයේ අත්තම්මාගෙන් රචකයා ලත් අත්දැකීම් අපුරු ලෙසින් ඉදිරිපත් කිරීමට ඔහු ජාතක පොතද මනාසේ ගලපා ගෙන ඇත. ජාතක පොතේ එන මසුරු සිටාණන් යනු ලෝබයේ ප්‍රතිමූර්තියයි. මේ මසුරු සිටාණන් රහත් නමකටවත් කැවුමක් දානයක් ලෙසින් හෝ දුන්නේ නැත.එහෙත් අත්තම්මා රචකයා නමින් පිසුන කැවුමක් කෝදුරුවන්ටත් දන් දී තිබේ. එදා කොදුරුවන් බහුල බක් මාසයේදී සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් පිසෙන කැවුම ගෙයි සාලයේ එල්ලා තබනවා. ඒ වටා කෝදුරුවන් එල්ලෙනවා. එවිට ඇස් ලෙඩ පවා නැති වෙනවා. මේ සාමාන්‍ය සිදුවීම රචකයා දකින්නේ අත්තම්මා විසින් බෙදා හදා ගැනීමේ සිරිත ඔහු තුළ ගොඩ නැගූ අපුරුවයි.

ගමේ උදවියගේ කුසගින්න නිවන කොස් ගහ හදුන්වන්නේ ‘‘බත් ගස“ විදිහටයි. මේ ගස වෙනුවෙන් රචකයා ලබා දෙන්නේ ඉතා පුජණීය තැනක්. කිරි එරෙන ගහක් වැඩ ඉන්නා…. එයින් පෙනේනේ ගමක කුසගිනි නිවන ගසක් මැටි ගෙදර අත්තම්මාගේ නිවස අසල තිබුන බවත් ඒ ගස ගමක කුසගිනි නිවූ බවත්ය. ඒ තරම් ඇය පරිත්‍යාගශීලී ය.

නමුත් අද මේ පරිසරය නැත. එවන් අත්තම්මලා නැත. ඒත් රචකයා තවමත් ඒ අත්තම්මා සහ මැටි ගෙදර සොයමින් සිටියි. ඒ වර්තමාන සයිබර් අවකාශයේය.

වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා…
මැටි ගෙදර අපේ කිරි අම්මා…

එය සාධාරණ සිතුවිල්ලකි.එහෙත් රචකයා එය ගොරෝසු අත්දැකීමක් නොවන සේ බෙහෙවින් මටසිලිටිව ඉදිරිපත් කරයි.
පුංචි පද පේළි කීපයකින්, ජාතක පොතේ සිදුවීම් සමග එදිනෙදා සරල සිදුවීම් ගලපා තමාගේ අත්දැකීම බෙහෙවින් කලාත්මක ලෙසින් ඉදිරිපත් කිරීමට රජී වසන්ත වෙල්ගම දක්වා ඇත්තේ විශේෂ හැකියාවකි. ඔහුගේ පරිකල්පනය අපුරුය. හැම සිදුවීමක් තුලින් අත්තම්මාගේ පැවැත්ම සහ එයින් රචකයා ලද පන්නරය පෙන්විමට සමත්ය. දිවුල්ගනේ මහතාගේ සුමදුර ගායනයෙන් ඔප් නැගුන මේ ගීතය මෙතෙක් ගත සාහිත්‍යයට එකතුව තිබෙන සුභාවිත ගීත අතරටම එක්වෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

දැනුම බෙදා හදා ගනිමු.
පුන්‍යා චාන්දනී ද සිල්වා

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *