#02 – යුනිකේත යනු කුමක් ද? – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #02 – යුනිකේත යනු කුමක් ද? – සිංහල යුනිකේත යතුරුලියන රහස්

සිංහල යුනිකේත යතුරුලියන රහස් පාඩම් මාලාවේ දෙවන කොටස මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

අප දන්නා පරිදි පරිගණකයක් දත්ත ගබඩා කරනු ලබන්නේ 1 සහ 0 වශයෙනි. මෙහි දී 1 සහ 0 වශයෙන් අදහස් කරන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා (Binary) වලට අයත් ඉලක්කම් යුගලයයි. පරිගණකයක දත්ත තැන්පත් කිරීමේ දී ඉලක්කම් සහ අක්ෂර ද්විමය සංඛ්‍යා ලෙසින් ම තැන්පත් කර ගැනේ. නමුත් මෙහි දී පැවති දුර්වලතාවක් නම්, ද්විමය සංඛ්‍යා කිහිපයක් මඟින් ඉංග්‍රීසි අක්ෂර පමණක් භාවිතා කළ හැකි වීමයි. එබැවින් ඉංග්‍රීසි බසින් පමණක් ක්‍රියාත්මක වූ පරිගණකය වෙනත් භාෂා සඳහා ද උචිත වන සේ සැකැස්මක අවශ්‍යතාව ඉතා තදින් දැනෙන්නට විය.

1990 දී පමණ සිදු කරන ලද පර්යේෂණයකට අනුව ප්‍රාග්-යුනිකේත යුගයේ ආරම්භය සිදු වූවා සේ සැලකේ. ඒ අනුව පෙර පැවති ගැට‍ළුව නිරාකරණය වූයේ ඉලක්කම් සහ ඉංග්‍රීසි අක්ෂර සියල්ල වෙනත් භාෂාවක අක්ෂර ලෙසින් සකස් කර භාවිතයට ගැනීමයි. එය තවදුරටත් පැහැදිලි කරනවා නම්, කිසියම් ඉංග්‍රීසි අක්ෂරයක ඇති හැඩය වෙනස් කොට වෙනත් භාෂාවක අක්ෂරයක හැඩයක් බවට පරිවර්තනය කිරීමෙන් නව යතුරු පුවරුවක් සිතියම් ගත කර භාවිතා කිරීමයි.

ASCII කේත මඟින් සිංහල හා ඉංග්‍රීසි අක්ෂර නිරූපණය
යුනිකේත නොවන ෆොන්ට භාවිතයේ ඝට්ටනය

නමුත් ඉහත අයුරින් සකස් කරන ලද අකුරු හැඩතල හෙවත් ෆොන්ට භාවිතා කර භාෂා කිහිපයකින් ලේඛනයක් සකස් කිරීමේ දී එක් භාෂාවක කරුණු කියවීමට හැකි ලෙසත්, අනෙක් භාෂාවෙන් ලියැවුණු දේ කියවීමට නොහැකි වන තත්ත්වයක් ද ඇති විය. උදාහරණයක් ලෙස ‘සිංහල’ යනුවෙන් Fm-Abhaya යොදා ගනිමින් යතුරු ලියනය කළ වචනය Lankanatha නම් සිංහල ෆොන්ටය භාවිතා කිරීමේ දී ‘ඉසයෙ,’ යනුවෙන් අර්ථයක් නොමැති වචනයක් බවට පත් වේ.

එමෙන්ම පරිගණක දෙකක් අතර දත්ත හුවමාරු කිරීමේ දී ලේඛනය සකස් කිරීමට භාවිතා කරන ලද අකුරු හැඩතලය ද වෙනම ම යැවීමට සිදු විය. බොහෝ විට ඔබ ද මෙම අත්දැකීම ලබා ඇති බවට නිසැකය. එමෙන්ම ප්‍රාග්-යුනිකේත යුගයේ දී ඉංග්‍රීසි ෆොන්ටයක් භාවිතා කර සකස් කරන ලද ඉහත වර්ගයේ සිංහල ෆොන්ට නිසා දත්ත අකාරාදී පිළිවල ට සැකසීමට හැකි වූයේ ද නැත. ඒ අනුව මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා යුනිකේත භාවිතයේ ඇති වැදගත්කම 1990 දී යෝජනා කරන ලදි.

සිංහල යුනිකේත

යුනිකේත මඟින් විවිධ භාෂාවල ඇති එක් එක් අක්ෂරය සඳහා නිශ්චිත වූ අංකයක් භාවිතා කෙරේ. සාමාන්‍යයෙන් මෙම අංක පරිගණකය කුළ ස්ථාපනය වන්නේ බයිට (byte) දෙකක් වශයෙනි.  මෙම ද්විත්ව බයිට අතරින් පළමු බයිටය මඟින් භාෂාව හඳුනා ගැනීමත්, දෙවැනි බයිටය මඟින් එම භාෂාවේ කිසියම් අක්ෂරයකට අදාළ හඳුනා ගැනීමත් සිදු කරනු ලැබේ.  එබැවින් යුනිකේත අක්ෂර සැලසුම් කර ඇත්තේ යෙදවුම් වැඩසටහන් වලින් ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයටයි.

1. The Unicode consortium

යුනිකෝඩ් සමූහය (The Unicode consortium) යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවතින ලාභ නො ලබන රාජ්‍ය නොවන සංවිධානයකි.  එමගින් සිදු කෙරෙන ප්‍රධානතම කාර්යයන් අතර යුනිකේත සංවර්ධනය කිරීම, ලොව පුරා භාවිතය ප්‍රචලිත කිරීම ප්‍රධාන තැනක් ගැනේ. රටවල් වශයෙන් හෝ පරිගණක සහ තොරතුරු තාක්ෂණයට අදාළ ව කටයුතු කරන විශාල ආයතන හා සංවිධාන මට්ටමින් මෙහි සාමාජිකත්වය ලබා ගැනීම සිදු වී තිබේ

2. Sinhala Unicode

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව අභිබවා යමින් පරිගණක සාක්ෂරතාව ඉදිරියට පැමිණ තිබේ. 1980 පමණ සිට පරිගණක තාක්ෂණය සමඟ දේශීය භාෂා යොදා ගැනීමේ උනන්දුව වැඩි වීමත්, 1997 දී සිංහල යුනිකේත භාවිතය පැමිණීමත් මෙම සංවර්ධනයට හේතු වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

යුනිකේත සිංහල

යතුරු ලියනය කිරීමට පමණක් ම නොවෙයි.

සිංහල යුනිකේත
පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් දර්ශනය වන අයුරු
සිංහල භාෂාවෙන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැඩසටහන ක්‍රියාත්මක වන අයුරු

සිංහල යුනිකේත ආගමනය සහ අන්තර්ජාලය

සිංහල ෆොන්ට් එකක් භාවිතයෙන් කෙසේ හෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් ලිපියකට අකුරු ටික අමුණා, ෆොන්ට ගොනු සමඟ හුවමාරු කරගන්න අපි පුරුදු වෙලා හිටියත් අන්තර්ජාලය සහ වෙබ් අඩවි කියන මාතෘකාවට එද්දී ඒක තවත් කරදරකාරී කථාවක් බවට පත් විය. කපුටා.කොම්, සිංහලයා.කොම් ආදී වෙබ් අඩවි සිංහල වචන වලින් මෙනු සබැඳි ආදිය යොදන විට ඔවුන්ට ඒ සඳහා අකුරු යොදා සැකසූ ඡායාරූප භාවිතා කරන්නට සිදු විය. ලෝකයේ අන්තර්ජාල සේවා සපයන්නන් ලබාදුන් වේග සීමාව ඉතාම අඩු වූ බැවින් ඡායාරූප මඟින් වෙබ් අඩවි දර්ශනය කිරීම පරිශිලකයන් හට එතරම් සතුටුදායක අත්දැකීමක් ලබා දුන්නේ නැත. එබැවින් ලංකාදීප, දිනමිණ වැනි පුවත් වෙබ් අඩවි තම වෙබ් අඩවියටම ආවේණික ෆොන්ටයක් යොදා ගත් අතර එම වෙබ් අඩවි පරිහරණයේ දී පරිශිලකයින් හට නිතර එම ෆොන්ට තම පරිගණකයේ ස්ථාපිත කර ගැනීමට සිදු විය.

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *