#02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු.

 #02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු.

මේ වන විට පාසලේ කාලසටහන නිර්මාණය කිරීම සඳහා ඔබේ පරිගණකයේ හෝ ලැප්ටොප් යන්ත්‍රයෙහි ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඇතැයි සිතනවා. තවමත් ඔබට එම මෘදුකාංගය ස්ථාපනය කරගැනීමට නොහැකි වූවා නම්, මෙම පාඩම් මාලාවේ පළමු ලිපිය වන #1 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම : පාසලේ කාලසටහන හදමු. කියවන ලෙස ආරාධනා කරනවා.

ඔබ දැන් මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට සූදානමින් ඇති. මෘදුකාංගය වෙත පළමුවෙන් පිවිසෙන විට පහත ආකාරයට දිස් වේවි. පරිශිලකයාට ඉතාමත් පහසුවෙන් මෘදුකාංගය සමඟ කටයුතු කිරීමට හැකි පෙනුමක් මෙහි තිබෙන බව ඔබට දැනේවි.

ඉහත තිර සටහනේ විදිහට පහලින් කොල පැහැයෙන් පලිහක රූපයකින් දක්වා ඇති ස්ථානයට යන්න. එතැන “Input Registration code” කියන තැන ක්ලික් කරල බලන්න. එතකොට ඔබේ මෘදුකාංගය නිසි පරිදි ලියාපදිංචි වී ඇත්නම් පහත දැක්වෙන ආකාරයේ පණිවිඩයක් දිස් වේවි. මෙම පණිවිඩය ලැබුණු පසු No හෝ Cancel බොත්තම ඔබා ඉවත් වන්න.

ඉහත පළමු තිරසටහනේ මැජික් යෂ්ඨියක ලකුණක් සහිතව Create New Timetable යනුවෙන් තිබෙනවා ඔබ දුටුවාද? දැන් එම බොත්තම ක්ලික් කිරීමෙන් කාලසටහන සකස් කිරීමේ ක්‍රියාවලිය ඇරඹීමට පුළුවනි. එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා File මෙනුවේ New වෙත යාමෙන්ද පුළුවනි.

පහත දැක්වෙන ආකාරයට තිර දසුනක් ඔබට ලැබුණු පසු එය සම්පූර්ණ කිරීම සඳහා මෙම උපදෙස් පිළිපදින්න. Name of the school වෙත ඔබේ පාසලේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන්න. Academic Year යනු පාසලේ වර්තමාන අධ්‍යයන වර්ෂයයි. Registration name කියන එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මීළඟට Periods per day කියන්නෙ පාසලේ දිනකට ක්‍රියාත්මක කාලච්ඡේද ගණනයි. සාමාන්‍යයෙන් ලංකාවෙ පාසල් වල කාලච්ඡේද 08ක් ක්‍රියාත්මක වෙනවනේ. Number of days කියන්නෙ සතියකට පාසල පැවැත්වෙන දින ගණනයි. මේ තිරයට අදාලව මූලික කරුණු ඔය විදිහට සම්පූර්ණ කරගත්තට පස්සෙ තව පුංචි වැඩ ටිකක් තියෙනවා. ඒ නිසා දැන්ම Next බොත්තම ඔබන්න එපා.

asc timetables කාලසටහන

Bell times/ Rename Periods කියලා බොත්තමක් තියෙනව දැක්කා නේද? දැන් ඒ බොත්තම ඔබන්න. එතකොට ලැබෙන්නෙ මේ වගේ තිරයක්. මේකෙදි ඔබට නාම ලේඛන ලකුණු කිරීම හා විවේක කාලය වැනි අවස්ථා කාලසටහනට ඇතුළත් කිරීමට සහ එක් එක් කාලච්ඡේදය ආරම්භක සහ අවසන් වන වේලාව තීරණය කිරීමට හැකියාව ලැබෙනවා. ඔබට පේනවා ඇති මෙතන කාලච්ඡේද 8ක් පෙන්නුම් කරන බව. මේ විදිහට කාලච්ඡේද 8ක් ලැබෙන්න නම්, කලින් අවස්ථාවේ Periods per day කියන තැන 8 ඉලක්කම සඳහන් කරල තිබිය යුතුයි. දැන් මෙතන තියෙන එක් එක් කාලච්ඡේදය මත ක්ලික් කරමින් Edit බොත්තම ඔබා එහි නම, වෙලාව වැනි තොරතුරු වෙනස් කළ හැකියි.

asc timetables කාලසටහන

Edit බොත්තම එබීමෙන් පසු පළමු කාලච්ඡේදය සංස්කරණය කරන අයුරු පහතින් දක්වන්නම්. Name of the Period හි කාලච්ඡේදය සඳහා නමක් ද, Short හි කාලච්ඡේදය සඳහා ටෙි නමක්ද සඳහන් කර අනතුරු ව Start/ The End හි කාලච්ඡේදයේ ආරම්භක සහ අවසාන වේලාවන් සඳහන් කර OK බොත්තම ඔබන්න. මේ ආකාරයට කාලච්ඡේද 08 සඳහා ම සංශෝධන සිදු කරගන්න.

asc timetables කාලසටහන

කාලසටහනට විවේක කාලය ඇතුළත් කර ගැනීම.

මේ වන විට කාලච්ඡේද 08 ඇතුළත් කරගෙන අවසන් බැවින් විවේක කාලය, නාම ලේඛන ලකුණු කිරීම වැනි අවස්ථා කාලසටහනට එක් කරගන්නා ආකාරය පිළිබඳ සොයා බලමු. පහතින් දැක්වෙන්නෙ කාලච්ඡේද 08 සඳහා වේලාව වෙන් කරපු ආකාරය සහිත වගුවයි. මේකෙ ‍පෙ.ව 07.30 – 07.45 දක්වා, පෙ.ව 08.25 – 08.50 දක්වා සහ පෙ.ව. 10.30 – 10.50 යන කාලයන් සඳහා කාලච්ඡේද හිස්ව පවතින බව පෙනේවි. දැන් අපි එම ස්ථාන වලට පිළිවෙලින් ආගම සිහි කිරීම, නාම ලේඛන ලකුණු කිරීම සහ විවේක කාලය ඇතුළත් කරමු. උදාහරණයක් ලෙස විවේක කාලය ඇතුළත් කරගන්නා ආකාරය මීළඟට කියලා දෙන්නම්.

මේ වෙලාවේ ඔබට පෙන්නුම් කරන තිරයේ “Add break that will be printed between lessons” යනුවෙන් බොත්තමක් තියෙනවා. ඒක ක්ලික් කරාම අපිට විරාමයන් ඇතුළත් කරගන්න පුළුවනි.

asc timetables කාලසටහන

ඉහත සටහනේ තියෙන දේවල් මොනාද කියල දැන් බලමු. Name of the break කියන්නෙ අපි යොදන විරාමයට අදාළ දීර්ඝ නම. ඊළඟට තියෙන Short කියන එකේදි කෙටි නමක් යොදන්න. Break position කියන තීරුව ඉතාම වැදගත්. මෙතනදි තමයි අදාළ විරාමය මොන කාලච්ඡේද අතරින් තිබිය යුතු කියල තීරණය වෙන්නෙ. උදාහරණයක් විදිහට විවේක කාලය දක්වන්නේ 4වන කාලච්ඡේදයට පසුව සහ 5 වන කාලච්ඡේදයට කලින් නිසා මේ තීරුවට යොදන්න වෙන්නෙ This break is before period nr 5: කියලයි. ඒකෙ තේරුම තමයි විරාමය යොදන්න ඕනෙ 5 වන කාලච්ඡේදයට පෙර කියන එක. බොහෝවිට ඔබ කලින් පියවර නිසියාකාරව සිදු කලා නම්, Start/ The end කියන විවේක කාලයේ ආරම්භක සහ අවසාන වේලාවන් එතනට ස්වයංක්‍රීයව ඇතුළත් වේවි. ඒ සඳහා ඔබ කාලච්ඡේද වලට වේලාව බෙදීමෙන් පසු මා ඉහත සිදු කර ඇති ආකාරයට 5 වන කාලච්ඡේදයට පෙර පෙ.ව 10.30 – 10.50 වේලා පරාසය සඳහා කාලච්ඡේදයක් ඇතුළත් නොකර හිස්ව තැබිය යුතුයි. Text for printouts කියන තැන අපි ඇතුළත් කරන විදිහට තමයි කාලසටහන මුද්‍රණය වෙද්දි විවේක කාලය පෙන්නුම් කරන්නෙ. ඒ නිසා මුද්‍රණය විය යුතු ආකාරයට එතන වචනය ඇතුළත් කරන්න.

තව විශේෂිතම පහසුකමක් මෙතනදි ලැබෙනවා. ඒකත් සාකච්ඡා කරලම ඉමු. ඒ තමයි Double lessons cannot span this break කියල තියෙන බොත්තම. උදාහරණයකින් ඒක මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න ගණිතය වගේ විෂයයන් වල ඩබල් පීරියඩ් තියෙනවානේ. මේ මෘදුකාංගය භාවිතයෙන් කාලසටහන අවසානයේ Generate කරන විට ඒ වගේ ඩබල් පීරියඩ් දෙකකින් එකක් 4 වන කාලච්ඡේදයට සහ දෙවැන්න 5 වන කාලච්ඡේදයට වශයෙන් විවේක කාලය දෙපසට වෙන් කරන්න මේකෙදි පහසුකම ලැබෙනවා. ඔය වගේම සිද්ධියක් නාම ලේඛනය ලකුණු කරන විරාමයේදිත් වෙනවා. ඒ කියන්නෙ පළමු කාලච්ඡේදය සහ දෙවන කාලච්ඡේදය අතර ඩබල් පීරියඩ් දෙක වෙන් වීමට හැකියි. ඔබේ අවශ්‍යතාවය සහ තීරණය මත මෙය වෙනස් කරන්න. සරලව කියනවානම් මේ විදිහට හරි ලකුණ යොදල තියෙද්දි, ඩබල් පීරියඩ් විවේක කාලයෙන් දෙපැත්තෙ කාලච්ඡේද වලට වෙන් වන්නෙ නැහැ. අනික් කාරණාව තමයි සමහර ගුරුවරු අකමැතියි එහෙම කාලච්ඡේද දෙක මැද්දෙන් විවේකයක් ලැබෙනවට. හොඳයි, දැන් ඔබට Ok බොත්තම ඔබා මෙම තිරයේ කටයුතු අවසන් කළ හැකියි.

ඒ ආකාරයට ම අනෙක් විරාම අවශ්‍ය පරිදි කාලසටහනට ඇතුළත් කරගන්න ඔබට පුළුවනි. සියල්ල අවසන් වූ පසු Ok බොත්තම ඔබන්න. මේ පහලින් තියෙන්නෙ උදාහරණයක් විදිහට මම හදපු කාලච්ඡේද සහ විරාමයන් ටික දක්වන්නම්. මේක බැලුවම කාලච්ඡේද හෝ විරාම ආරම්භ වන සහ අවසන් වෙන වෙලාවල් වගේම එක් එක් කාලච්ඡේදයට වෙන් වූ මිනිත්තු ගණනත් දැක්වෙනවා. මේකට අනුව කාලච්ඡේදයක් මිනිත්තු 40ක් බව ඔබට පෙනේවි.

asc timetables කාලසටහන

දැන් ඔබ නැවතත් Wizard : Step 1 of 7 නම් තිරයේ ඉන්නව ඇති. ඒ කියන්නෙ තවම පළමු පියවර තමයි මේ කියල දෙන්නෙ. දැන් ඒකෙ තියන Rename days බොත්තම ක්ලික් කරලා සතියේ දවස් වලට අදාළ නම් අවශ්‍ය නම් වෙනස් කරගන්න. විශේෂයෙන් වෙනස් කරන්න දෙයක් නැහැ. සතියේ දවසට අදාල කෙටි නම වෙනස් කර ගත්තනම් ප්‍රමාණවත් වේවි.

එහෙනම් ඊළඟට සිදු කළ යුතු පියවර සමඟින් ඉදිරි ලිපියකින් හමුවෙමු.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *