#04 – සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය – සිංහල යුනිකේත යතුරුලියන රහස්

 #04 – සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය – සිංහල යුනිකේත යතුරුලියන රහස්

දෙවන පරිච්ඡේදයේ දී ඔබ දැනුවත් කිරීමට උත්සාහ කරන ලද්දේ සිංහල යුනිකේත භාවිතයේ තිබෙන විශේෂ වාසි පිළිබඳවයි. එබැවින් සිංහල යුනිකේත ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්නා අයුරු මීළඟට සාකච්ඡා කෙරේ.

සිංහල යුනිකේත ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීම සඳහා පළමුවෙන් ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් නොමිලේ ලබා දෙන මෙම යතුරු පුවරු ධාවකය ඔබේ පරිගණකයට බාගත කර ගන්න. ඒ සඳහා පහත සබැඳිය වෙබ් සෙවුම් යන්ත්‍රයට ඇතුළත් කරන්න හෝ ක්ලික් කරන්න. බාගත කිරීමේ දී ගොඩක් ඩේටා වැය වෙන ලොකු මෘදුකාංගයක් නම් නෙවෙයි.

https://www.icta.lk/icta-assets/uploads/2016/01/SinhalaTamilKit4.exe

සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය
Sinhala Tamil keyboard driverKeyboard input in Sinhala and Tamil for Windows Vista upwards3297 kB

මෙම යතුරු පුවරු ධාවකය භාවිතා කර වින්ඩෝස් විස්ටා, 7, 8, 8.1, 10 යන මෙහෙයුම් පද්ධති ඇති පරිගණක වල සිංහලෙන් යතුරුලියනය කිරීමට හැකිය. 100% ක් නොමිලේ බාගත කිරීම සිදු කළ හැකිය.

සුපුරුදු පරිදි මෘදුකාංගයක් ස්ථාපනය කරන ආකාරයෙන් Next  විධානය ලබා දෙමින් මෘදුකාංගය ස්ථාපනය කර ගන්න. දෙමළ භාෂාවත් ස්ථාපනය කළ හැකි නම් වඩා ප්‍රයෝජනවත් වේ. එවිට පහත අයුරින් සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් ම යතුරු ලියනය කිරීමේ පහසුකම ලැබේ.

சிங்களம் மொழி – සිංහල භාෂාව – Sinhala Language

මීළඟට ඔබේ පරිගණකය වෙත Restart විධානයක් ලබා දීමෙන් පසු ටාස්ක් බාර් හි භාෂා පෙට්ටියක් පෙන්නුම් කරනු ඇත. ටාස්ක් බාර් යනු තිරයේ පහළින් ම ඇති වේලාව සහ දිනය දක්වන තීරුව ය. එහි ඉදිරියෙන් ම පවතින්නේ EN හෝ ENG ලෙසින් ය. (ENG ලෙස පවතින්නේ වින්ඩෝස් 7 හෝ 8 හි ය.) එතැන ක්ලික් කිරීමෙන් වින්ඩෝස් 7 ,8 හෝ 10 වල නම් ENG, සිං, த වශයෙන් පෙන්වනු ඇත. වින්ඩෝස් 7 හෝ xp හි නම් පවතින්නේ EN, SI, TA වශයෙනි. දැන් ඔබ කැමති භාෂාවක් තෝරා ගෙන යතුරු ලියනය කිරීමේ පහසුකම ඔබට ලැබී ඇත.

ටාස්ක් බාර් (Task Bar) එකෙහි භාෂා පෙන්නුම් කරන අයුරු

මම හරියටම පරිගණකයේ ස්ථාපනය කලා. නමුත් මේ වගේ භාෂා 03 ම පෙන්නන්නෙ නැහැනේ.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි පමණක් නොවෙයි. යුනිකේත සහාය දක්වන සියලුම භාෂා පාහේ ඔබේ පරිගණකයට ස්ථාපනය කිරීමේ පහසුකම පවතී. එය සිදු කරන ආකාරය විමසා බලමු. යම් කිසි අයුරකින් ඉහත මෘදුකාංගය ඔබ විසින් පරිගණකයේ ස්ථාපනය කළ පසු සිංහල හෝ දෙමළ භාෂාව ටාස්ක් බාර් එක මත ඉහත අයුරින් පෙන්නුම් නොකරන්නේ නම් පමණක් මෙය සිදු කළ යුතු අතර, ඔබට අවශ්‍යතාවයක් නොමැති නම් භාෂාවක් ඉවත් කිරීමටත් හැකියි.

  1. පළමුව ඉහත රූපයේ ඇති Language preferences යන්න මත ක්ලික් කරන්න.
  2. එවිට Language Settings පිටුවේ දී ඔබට භාෂා ඇතුළත් කිරීමට අවස්ථාව ලැබේ.
  3. එම පිටුවේ ඇති Windows Display Language හි භාෂාව වෙනස් කිරීමෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සිංහල භාෂාවෙන් කටයුතු කිරීමටත් ඔබට හැකිය.
  4. භාෂාවක් ඉවත් කිරීමට අවශ්‍ය නම් අදාළ භාෂාවේ නම මත ක්ලික් කර Remove බොත්තම ඔබන්න.

නැවතත් ඉදිරියට..

ටාස්ක් බාර් එකෙහි ම තවත් මෙවැනි අලුත් අයිකනයක් නිරූපණය වන බව ඔබ නිරීක්ෂණය විය යුතු වේ. වින්ඩෝස් 7 හෝ 8 හි නම් සිංහල සහ දෙමළ ‘ක’ අක්ෂරය සහිත නිල් පැහැති මෙවැනි සලකුණක් දක්නට ලැබෙන අතර වින්ඩෝස් xp හි නම් ‘වි‘ අක්ෂරය සහිත සලකුණක් දක්නට හැකිය. මෙමඟින් ඉහත සඳහන් කළ මෘදුකාංගය නිවැරදි ව පරිගණකයේ ස්ථාපිත වී ඇති බව පෙන්නුම් කරයි.

එම සලකුණ මත ක්ලික් කිරීමෙන් දර්ශනය වන Settings මෙනුවෙහි Sound වෙත ගිය විට පහත පින්තූරයේ පරිදි Sound යන්න ඉදිරියේ කුඩා හරි ලකුණක් සටහන් වී තිබිය යුතුය.

එමගින් සිදු වන්නේ සාමාන්‍ය සිංහල භාෂාවේ පවතින ආකාරයෙන් බැහැරව යතුරු ලියනය කරන්නේ නම් ‘බීප්‘ හඬක් නිකුත් කිරීමයි. උදාහරණයක් ලෙස වෛද්‍ය නම් වචනය සඳහා කොම්බු දෙකක් භාවිතා වීමට අමතරව කොම්බුව පේළියක් සේ ලිවීම භාෂා වරදකි. වෙනත් අකුරු හැඩතල වල දී මේ සඳහා බාධාවක් නො පැවතුණ ද, සිංහල යුනිකේත ක්‍රමයේ දී එක පෙළට උපරිම කොම්බු දෙකකට වඩා භාවිතා කළ නොහැකි වේ. එලෙස සිදු කිරීමට උත්සාහ ගත හොත් බීප් නාදයක් ඇසෙනු ඇත.

අනතුරුව Settings හි Keyboard Layout වෙත යන්න. Standard Sinhala Keyboard Layout යන්න මත ක්ලික් කළ විට කුඩා යතුරු පුවරුවක් ඔබට දැක ගත හැකිය. එය යතුරු පුවරුවේ සිංහල යතුරු පිහිටා ඇති අන්දම දැක්වෙන සිතියමකි.

සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය

සිංහල යුනිකේත භාවිතයේ දී භාවිතා වන ප්‍රධානතම ෆොන්ටය නම් ‘ඉස්කෝල පොත‘ නමැති අකුරු හැඩතලයයි. විජේසේකර යතුරු පුවරුවට අනුව මෙහි යතුරු ලියනය සිදු කළ හැකිය. නමුත් විශේෂයෙන්ම කිව යුතු කරුණක් නම් මෙම ක්‍රමයේ දී ‘a’ අකුර මඟින් ‘අ’ ලෙසින් යතුරු ලියනය වීම සිදු නොවේ. එබැවින් ඉගෙනීමට මදක් අපහසු වුවත් පුහුණු වීමෙන් පසු ඕනෑම ලියවිල්ලක් සිංහලෙන් යතුරුලියනය කිරීමට, මුහුණු පොතෙහි සිංහලෙන් චැට් කිරීමට, බ්ලොග් අඩවියේ ලිපියක් පළ කිරීම වැනි ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් පාවිච්චි කළ හැකිය.

සිංහල යුනිකේත යතුරු ලියනය කිරීමට පුහුණු වීමේ දී, ඉතා වැදගත්…

පුහුණු වන තෙක් පමණක් යතුරු පුවරුවේ ඉංග්‍රීසි අක්ෂර පසෙකින් සිංහල අකුරු ලියන ලද කුඩා කඩදාසි කැබැල්ලක් විනිවිද පෙනෙන සෙලෝටේප් කැබැල්ලකින් අලවා ගත හැකිය. මද කාලයක් භාවිතා කිරීමෙන් පසු මතකයේ රැඳුණු අකුරු සහිත කඩදාසි කැබලි එකින් එක ගළවා දැමීම සුදුසු ය. ඉනික්බිති සාමාන්‍ය ඉංග්‍රීසි යතුරු පුවරුවෙන් සිංහල යතුරුලියනය කිරීමට ඔබට හැකි වනු නිසැක ය. මාගේ නිර්දේශය වන්නේ සිංහල යතුරු ලියනය සිදු කිරීම පුහුණු වීමට සිංහල අක්ෂර සඳහන් යතුරු පුවරුවක් භාවිතයෙන් කිසිසේත් ම සාර්ථක නොවන බවයි.

සිංහල යුනිකේත පරිගණකයේ ස්ථාපනය

තත්ත්පරෙන් භාෂාව මාරු කරමු.

දැන් ඔබගේ ටාස්ක් බාර් එක මත විවෘත වෙන මෙනුවේ ඉහත දැක්වූ ආකාරයට භාෂා දෙකක් හෝ තුනක් සක්‍රිය වී පවතිනු ඇති. නමුත් අප යතුරුලියනය කරන භාෂාව මොහොතකට පසු වෙනස් කළ යුතු නම්, නිතර නිතර භාෂාව තේරීමට සිදු විය හැක. නමුත් පහසුවෙන් මෙම කාර්යය කර ගැනීම සඳහා යතුරු පුවරුවේ යතුරු ලියනය කරන අතරතුර ම Alt යතුර සමඟ Shift යතුර ඔබන්න.

මෙම ලිපි මාලාව පිළිවෙලට අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

2 අදහස්

  • වැදගත් ලිපියක් හැබයි මං පුරුඩු උනේ ඔෆිස් එකෙන් 🙏🙏 දැන් පුලුවන් එත් වේගයෙන් බෑ

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *