#03 – විෂයය, ශ්‍රේණි, පන්තිකාමර සහ ගුරුවරු ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු.

 #03 – විෂයය, ශ්‍රේණි, පන්තිකාමර සහ ගුරුවරු ඇතුළත් කිරීම: පාසලේ කාලසටහන හදමු.

මෙම ලිපි මාලාව ඔස්සේ ඔබේ පාසලේ කාලසටහන මෘදුකාංගයක් ඇසුරින් ඉතා පහසුවෙන් සකස් කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කරනවා. මීට පෙර ලිපි වලදී #01 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම සහ #02 – කාලසටහන සඳහා මූලික දත්ත ඇතුළත් කිරීම. යනුවෙන් ලිපි දෙකක් පළ කර ඇති අතර ඒවා පරිශීලනය කර මෙහි සඳහන් පියවර අනුගමනය කිරීම ඔබට පහසුවක් වේවි.

මේ ලිපියෙන් මුලින්ම අපි සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ පහත පෙන්නුම් කර තිබෙන තිර සටහනට අදාළවයි. මෙය කාලසටහන සැකසීමේ පියවර 7 න් දෙවෙනි පියවරයි. නමුත් මෙම පියවරේ ඇතුළත් සියලු දේවල් සම්පූර්ණ කිරීම සාමාන්‍ය රජයේ පාසල් වලට අදාළ නැහැ. ඒ නිසා Next බොත්තම එබීමෙන් ඔබට ඉදිරියට යන්න පුළුවනි. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ, මෘදුකාංගය භාවිතා කරන විට ඉදිරියේ දී මෙහි ඇතුළත් දේවල් කාලසටහන සැකසීමට යොදා ගැනීමට හැකි වීමයි.

පාසලේ කාලසටහන මෘදුකාංගයකින්

දැන් ඔබ අලුත් තිරයකට පිවිසෙන්නට ඇති. මෙහිදී අපට පාසලේ ඉගැන්වීම සිදු කරන විෂයයන් ඇතුළත් කිරීම සිදු කළ හැකි වෙනවා. මෙතැන් පටන් ඉදිරියට යනවිට ඔබට Save කිරීමේ පහසුකම ලැබෙන නිසා, ඔබ තොරතුරු යාවත්කාලීන කරන විට පෝර්මයේ යටම වම් පසට වන්නට තිබෙන Save බොත්තම ක්ලික් කිරීමට අමතක කරන්න එපා.

කාලසටහන save කරන්නෙ මෙහෙමයි.

පළමු පියවර 03 සම්පූර්ණ කළ පසුව ලැබෙන පෝර්මයේ වම් පැත්තෙ යටින් ම Save යනුවෙන් බොත්තමක් දිස් වේවි. එම බොත්තම ක්ලික් කරන්න. මතක ඇතිව File name ලෙස දැක්වෙන තීරුවේ පසුව හඳුනාගත හැකි නමක් ලබා දෙන්න. පහසුවෙන් සොයාගත හැකි ෆෝල්ඩරයක් තෝරා ගැනීමටත් අමතක කරන්න එපා.

ඔබ කාලසටහනේ යම් යාවත්කාලීනයක් සිදු කිරීමෙන් පසුව නැවත සුරැකීමට අවශ්‍ය නම්, පෙර පරිදි ම සිදු කරන්න. එහි දී අලුත් ගොනුවක් ලෙස සුරැකීමට අවශ්‍ය නම් File name වෙත අලුතෙන් නමක් ලබා දෙන්න. පෙර ගොනුවට ම සුරැකීමට නම්, ඔබ දෙවෙනි අවස්ථාවේ හෝ ඉන් පසුව save බොත්තම එබීමේදී ලැබෙන පහත රූපසටහනේ ආකාරයට Yes බොත්තම ඔබන්න.

කාලසටහනට විෂයයන් ඇතුළත් කරමු.

විෂයය ඇතුළත් කිරීම සඳහා ඇති අයිකනය වන්නේ නිල් පැහැ පොතක රූපයකි. එම ස්ථානය වෙත ගොස් New බොත්තම ඔබන්න.

පාසලේ කාලසටහන මෘදුකාංගයකින්

ඉහත ආකාරයේ පෝර්මයක් මඟින් විෂයයන් ඇතුළත් කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. Subject title හි විෂයයට අදාළ නම සහ Short හි විෂයය හඳුනාගත හැකි කෙටි නමක් යෙදිය හැකියි. මෙම පෝර්මයේ මූලිකව ඇතුළත් කළ යුත්තේ එම තොරතුරු පමණක් වුවත්, ඔබ අවසානයේ කාලසටහන මුද්‍රණය කරන්නේ වර්ණ රහිත මුද්‍රණ යන්ත්‍රයකින් නම්, Color/ picture යනුවෙන් ඇති ස්ථානයේ වර්ණය සුදු පැහැයට වෙනස් කිරීම වඩා සුදුසුයි. ඇත්තටම මෙතැනින් සිදු කෙරෙන්නේ මුද්‍රණය කෙරෙන කාලසටහනේ යම් විෂයයකට අදාළ කොටු එක් වර්ණයකින් දැක්වීමයි. මෙම පෝර්මයට අනුව නම්, විද්‍යාව විෂය පෙන්නුම් කරන්නේ කාලසටහනේ කොටුවේ පසුබිම නිල් පැහැ ගැන්වීමෙනි. නමුත් ඔබට වර්ණ මුද්‍රණය කිරීමට අවශ්‍යයි නම් විවිධ වර්ණ වලින් පෙන්නුම් කිරීමට අමතරව Change බොත්තම එබීමෙන් පසු විෂයයට අදාළව පින්තූරයක් වුවත් යොදාගත හැකියි.

පාසලේ ශ්‍රේණි ඇතුළත් කිරීම සිදු කරන්නේ මෙහෙමයි.

මීළඟට අපි පාසලේ ශ්‍රේණි ඇතුළත් කිරීම සිදු කරමු. ඒ සඳහා Next බොත්තම ඔබන්න. එහි ඇති New බොත්තම ක්ලික් කළ විට ලැබෙන්නේ පහත ආකාරයේ පෝර්මයකි.

පාසලේ කාලසටහන මෘදුකාංගයකින්

Class name වෙත අදාළ ශ්‍රේණියේ නම ද, Short වෙත එම ශ්‍රේණියේ නම කෙටියෙන් ද ඇතුළත් කරන්න. මෙහි ඇති color ක්‍ෂේත්‍රය මඟින් ඉහතින් විස්තර කළ ආකාරයටම ශ්‍රේණියට අදාළව පසුබිම් වර්ණය හෝ පින්තූරය ඇතුළත් කළ හැකියි. ඔබට වර්ණ ප්‍රින්ටරයක් නොමැති නම්, එහි වර්ණය සුදු ලෙස සෑම විටම වෙනස් කරන්න. අවසානයේ Grade වෙත අදාළ ශ්‍රේණියේ සත්‍ය අංකය තෝරා දෙන්න. එසේ පැවසීමට හේතුව වන්නේ, සමහර ප්‍රාථමික පන්ති වලට මල් වල නම් වගේ දේවල් යොදා තිබෙනවා ඔබ දැක ඇති. උදාහරණයක් විදිහට “02 ශ්‍රේණිය – රෝස පන්තිය” මේ සඳහා ඇතුළත් කිරීමට Class name – Grade 02 Rose; Short – 02Rose; Grade – Grade 02 ආදී වශයෙන් ඇතුළත් කරන්න.

පාසලේ තිබෙන පන්තිකාමර මොනවාද?

ඉහත ආකාරයට පාසලේ සියලු ම ශ්‍රේණි ඇතුළත් කළ පසුව පන්තිකාමර ඇතුළත් කිරීම ඇරඹීමට Next බොත්තම ඔබන්න. නැවතත් Save කිරීමටත් මතක් කරනවා එහෙනම්. මෙහිදී පන්තිකාමර යනුවෙන් හඳුන්වන්නෙ යම් විෂයයක් ඉගෙනීම සඳහා සිසුන් එක්රැස් කරන ස්ථාන වලටයි. ඒ සඳහා ශ්‍රේණියට අදාළ පන්ති කාමර වගේම, විද්‍යාගාර, පුස්තකාල, එළිමහන් පන්තිකාමර, සෞන්දර්ය විෂයය ඒකක සහ පරිගණක විද්‍යාගාරය ආදී ස්ථාන ඇතුළත් කළ යුතුයි. මෙහි ප්‍රයෝජනය වන්නේ කාලසටහන අවසානයේ දී සකස් වී ලැබෙන විට ස්වයංක්‍රීයව එක් එක් පන්තිකාමරය සඳහා වෙන වෙන ම කාලසටහන් ලැබීමයි. ඒ නිසා එකම කාලච්ඡේදයක දී විද්‍යාගාරය වෙත ශ්‍රේණි දෙකක සිසුන් නොපැමිණේවි.

New බොත්තම එබීමෙන් පන්ති කාමර ඇතුළත් කිරීම ආරම්භ කරමු.

පාසලේ කාලසටහන මෘදුකාංගයකින්

මේ පෝර්මයට අදාළ තොරතුරු ඇතුළත් කරන ආකාරය දැන් විමසා බලමු. Classroom name යටතේ පන්තිකාමරයේ නමද, Short යටතේ එහි කෙටි නාමය ද ඇතුළත් කරන්න. විද්‍යාගාරය දැක්වීම සඳහා ඉහත උදාහරණය සකස් කර ඇති අයුරු බලන්න. මේ අවස්ථාවෙදිත් වර්ණ තීරය සම්බන්ධව කිව යුත්තේ කලින් සඳහන් කළ කරුණුමයි. එසේනම් දැන් Ok බොත්තම එබීමෙන් පන්තිකාමර තොරතුරු කාලසටහන වෙත ඇතුළත් කළ හැකියි.

ඉහත ආකාරයට පන්තිකාමරයක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් නමුත්, යම් විශේෂ අවස්ථා සඳහන් කිරීම සම්බන්ධයෙන් මීළඟට සළකා බලමු. ඔබ ඇතුළත් කරන්නේ 10 ශ්‍රේණියේ සිසුන් ඉගෙන ගන්නා පන්ති කාමරය යැයි සිතමු. ඔවුන් හට නිශ්චිත ස්ථානයක පන්තිකාමරය සකස් කර දීමට හැකි නම්, Home Classroom වෙත හරි ලකුණ යොදන්න. නමුත් මෙයෙ අත්‍යාවශ්‍යම කරුණක් නොවන බව මතක තබා ගන්න. එසේ සඳහන් කිරීමට හේතුව වන්නේ ශ්‍රේණි ඇතුළත් කිරීමේදී සඳහන් වන සියලු ශ්‍රේණි වලට අදාලව කාලසටහන් නිර්මාණය වන නිසායි.

උදාහරණයක් විදිහට පන්තිකාමර වෙන් කර නැති ශාලාවක යම් කාලච්ඡේදයක දී, ගුරුවරු කිහිප දෙනෙක් විසින් සිසුන් කණ්ඩායම් කිහිපයකට ඉගැන්වීම් කටයුතු කරනු ලබන අවස්ථාවක එම ස්ථානය බෙදාහදාගෙන පරිහරණය කරන ස්ථානයක් බවට පත් වෙනවනේ. එවැනි පන්තිකාමරයක් ඇතුළත් කරන විට Shared room යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. විශේෂයෙන් ම එකම පන්ති කාමරයක කාණ්ඩ විෂයන් ඉගැන්වීම වැනි අවස්ථා වල මේ පහසුකම ප්‍රයෝජනවත් වේවි..

අපේ පාසලේ ගුරුවරු කාලසටහනට ඇතුළත් කරමු.

ඉහත දැක්වෙන පෝර්මය භාවෙිතයෙන් ඔබට පාසපේ ගුරු මහත්ම මහත්මීන් කාලසටහන සඳහා ඇතුළත් කිරීමට හැකි වෙනවා. එහි දී මූලික තොරතුරු වශයෙන් ගුරුවරයාගේ පළමු නම (First name), අවසන් නම (Last name) සහ short හි කෙටි නාමයක් යෙදීම ප්‍රමාණවත්. නමුත් ඔබ සතුව තොරතුරු පවතිනවා නම්, දුරකථන අංක වැනි අනෙකුත් තොරතුරු ඇතුළත් කිරීම පසුව ප්‍රයෝජනවත් විය හැකියි. Male යන්න ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත් කිරීමෙන් ගුරුතුමියන්ලා ඇතුළත් කරන්න.

ඔබ ඇතුළත් කළ ගුරුවරයා පන්ති භාරකාරත්වයක් දරන අයෙකු නම්, Class teacher for the class හි ඇති Change බොත්තම එබීමෙන් පසු ලැබෙන පෝර්මයේ අදාල ශ්‍රේණිය මත ක්ලික් කර Ok බොත්තම ඔබන්න.

නැවත වාරයක් ඔබට Save කිරීම සඳහා මතක් කරන අතර ඉදිරි ලිපියකින් හමුවන බලාපොරෙත්තුවෙන් දැනට නතර වෙනවා. එතෙක් ඔබේ පාසලේ කාලසටහනට අදාළව ශ්‍රේණි, පන්තිකාමර, විෂයයන් හා ගුරුභවතුන් ඇතුළත් කර සූදානම් ව සිටින ලෙස ඉල්ලා සිටිනවා. තවත් බොහෝ කටයුතු ඉදිරියට සිදු කිරීමට ඉතිරි වෙලා තියෙනවා.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *