#01 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම: පාසලේ කාලසටහන හදමු.

 #01 – ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කිරීම:  පාසලේ කාලසටහන හදමු.

ASC Timetables මෘදුකාංගය ඇසුරින් කාලසටහන් නිර්මාණය කිරීම පිළිබඳ දැන ගනිමු.

දරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙ‍ෂ්ත්‍රයේ දී ඇතිවන විවිධ තාක්ෂණික ගැටලු සඳහා සහාය දැක්වීමත් සිදු කිරීම අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම නවතම පාඩම් මාලාව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් ඉතා පහසුවෙන් සහ කෙටි කාලයක දී කාලසටහනක් සකසා ගන්නා අයුරු පිළිබඳ ව ඔබ දැනුවත් කිරීම සඳහායි.

ඉස්කෝලෙක කාලසටහන හදනවා කියන එක කොච්චර අමාරු සහ සංකීර්ණ ක්‍රියාවලියක්ද කියන එක වගේ ම, ඒ සම්බන්ධ දුක දන්නෙ පාසලේ විදුහල්පතිතුමා සහ ඔහුට සහාය වන ගුරු මහත්ම මහත්මීන් බැවින්, ශිෂ්‍යයෙකු වන ඔබට එතරම් සංවේදී නැතුව ඇති. නමුත් ශිෂ්‍යයයෙකු වශයෙන් මේ ලිපිය කියවන ඔබට වුවත් ඉතා පහසුවෙන් කාලසටහනක් නිර්මාණය කිරීමේ හැකියාව මෙමඟින් හිමි වේවි. විශේෂයෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරු දැරියන්ට මෙය ඉතා පහසු කාර්යයක් වේවි. එසේත් නොමැතිනම්, ඔබේ ආදරණීය ගුරුතුමාට, ගුරුතුමියට මෙම ලිපි මාලාව අධ්‍යයනය කිරීමෙන් විශාල සහයෝගයක් ලබා දීමට හැකි වේවි.

ASC Timetables මෘදුකාංගය

ඇත්තටම මෘදුකාංගයක් භාවිතයෙන් කාලසටහන හදාගන්න එක කොච්චර පහසුවක් ද කියලා අදින් ඇරඹෙන මෙම ලිපි මාලාව අධ්‍යයනය කිරීමෙන් ඔබට වැටහේවි. සම්පූර්ණ මෘදුකාංගය භාවිතය පිළිබඳ ඔබ වෙත ගෙන එන බැවින් යම් දුරකට දීර්ඝ පාඩමක් ලෙස ඔබට දැනෙනු ඇති නමුත් මා වගකීමෙන් පවසන්නේ මෙම මෘදුකාංගය භාවිතය ඉතා පහසු බවයි.

කාලසටහන නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අප භාවිතා කරන්නේ ASC Timetables නම් මෘදුකාංගයයි. මේක නොමිලේ බාගත කරගන්න ලැබෙන මෘදුකාංගයක් බව කණගාටුවෙන් නමුත් පැවසිය යුතුමයි. ඒ කියන්නෙ අපිට යම් මුදලක් ගෙවලා තමයි මේක ලබාගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න සිදු වෙන්නේ. මිල ගණන් ගැන සඳහන් කලොත්, මේක $99 ක් වෙන බව තමයි සඳහන් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් විසිදහසකට ආසන්න මුදලක් වෙනවා.

පෞද්ගලික ව විදුහල්පතිවරයෙකුට හෝ පාසලකට මෙවැනි මුදලක් දරා ගැනීම ඇත්තට ම අපහසුයි. උදාහරණයක් විදිහට ඔබේ පරිගණකයේ බොහෝවිට වින්ඩෝස් හෝ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වැනි මෘදුකාංග වල ඔරිජිනල් මෘදුකාංගය වෙනුවට ඔබට සේවය සපයන “කම්පියුටර් කඩේ අයියා” ස්ථාපනය කරල දීපු මෘදුකාංගය තමයි පවතිනව ඇත්තේ. අපිට නොදැනුනාට ඒ නිසා අපේ පරිගණකයේ වේගය අඩුවීම ඇතුළු ගැටලු පැනනඟින්න පුලුවනි. ඒ වගේ ම ඔරිජිනල් මෘදුකාංගය මිලදී නොගෙන අප සිදු කරන්නේ වංචාවක් බව ඔබට පැහැදිලි ඇති. ඒත් එහෙම කරන්නේ ලංකාවේ අපි දුප්පත් නිසානේ. නමුත් දුප්පත් කියලා හොරකම් කරන එක සාධාරණිකරණය කරන්න බැහැ කොහොමටවත්. අහු උනොත් එහෙම ලොකු නඩුවක්. ඒ නිසා මෙම වෙබ් අඩවිය තුළ මෘදුකාංග සොරකම සඳහා අනුබල දීමට මා අදහස් නොකරන නිසා ASC Timetables මෘදුකාංගය ලියාපදිංචි කරගැනීම සම්බන්ධ පාඩමේ කොටස ගුරුමුෂ්ටි ලෙස සඟවා ගැනීමට සිදු වෙනවා. ඒ අනුව මෘදුකාංගය ලියාපදිංචි කරගන්න ක්‍රම දෙකින් එකක් නීත්‍යානුකූල විදිහට මුදල්‌ ගෙවා ලබා ගැනීම සහ නීත්‍යානුකූල නොවන විදිහට මෘදුකාංගය භාවිතය විදිහටයි. ඉතින් ඔබට සිදුවෙනවා එක ක්‍රමයක් තෝරා ගැනීමට.

  1. ඔබ තෝරා ගන්නේ මෘදුකාංගය මිලදී ගැනීමට නම්, https://www.asctimetables.com/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
  2. ඔබ දෙවැනි ක්‍රමය තෝරා ගන්නවා නම්, ඔබේ හිතවත් තොරතුරු තාක්ෂණ සගයාගෙන් සහාය ලබා ගන්න වේවි. ඉඟියක් විදිහට මෙම වෙබ් අඩවියේ පහළ “අප අමතන්න” යනුවෙන් වට්ස්ඇප් ‌සහ මැසෙන්ජර් පණිවිඩ යැවිය හැකි බොත්තමක් තිබෙන බව සිහිපත් කරන්නම්.

ඉතින් සල්ලි ගෙවන්නෙ නැතිව මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවනි නම්, ඇයි අපි ගෙවන්න මහන්සි වෙන්නෙ? ඒකට හේතුව තමයි, අපි මෘදුකාංගයට මුදල් ගෙව්වෙ නැතිනම් අවසානයේ දී කාලසටහන මුද්‍රණය කරද්දි මෘදුකාංගයේ දියසළකුණ (Watermark) එක වැටෙනවා. ඒක ඉවත් කරනවාට තමයි ‌අය කිරීම සිදු කරන්නෙ. ඉහත දෙවෙනි ක්‍රමයේදිත් දියසළකුණ නැතිව මුද්‍රණය කර ගැනීමට පහසුකම් ලැබෙනවා.

ASC Timetables මෘදුකාංගය ස්ථාපනය කරමු.

මෙම පාඩම් මාලාව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ මෘදුකාංගයේ 2019 වර්ෂයේ නිකුත් කළ පිටපත භාවිතා කරනවා. එහෙනම් මුලින් ම මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරගනිමු.

මෘදුකාංගය බාගත තරගැනීම පහතින්. ගොනුවේ ප්‍රමාණය මෙගාබයිට් 23.1 කි.

මේකත් සාමාන්‍යයෙන් මෘදුකාංග ස්ථාපනය කරන විදිහට ම කරගෙන යන්න පුලුවනි. ඔන්න එහෙනම්, අදාල පියවර එකින් එක පහත ආකාරයට ඉදිරියට කරගෙන යන්න. මුලින් ම කරන්න තියෙන්නෙ භාෂාව තෝරගන්නයි. හැමෝම ඉංග්‍රීසි භාෂාව තෝරා ගනීවි කියලා හිතනවා. ලංකාව තුළ විශාල වශයෙන් මෘදුකාංගය අලෙවියක් නැති නිසා සිංහල භාෂාවට සහය දක්වන්නෙ නැහැ. අනික් කාරණාව තමයි මෘදුකාංගය තුළ වැඩ කිරීමේදී වත් සිංහල යුනිකේත භාවිතයෙන් යම් දත්තයක් ඇතුළත් කිරීමට අවස්ථාව ලැබෙන්නෙ නැහැ.

මෙතනින් පස්සෙ Next බොත්තම ඔබමින් ඉදිරියට යන්න.

ASC Timetables software install steps

මේකට “I agree” කියන විධානය දෙන්න.

ASC Timetables software install steps

ASC Timetables software install steps

ASC Timetables software install steps

මේ පියවර පහු කලාට පස්සෙ තියෙන්නෙ අන්තිම පියවර. ඒකෙදි ඔබට “Finish” බොත්තම ක්ලික් කිරීමෙන් මෘදුකාංගය ස්ථාපනය කිරීමේ කටයුතු අවසන් වෙනවා. එතනදි මතක ඇතිව මැදින් තියෙන Run asc Timetables කියන තැන ඉස්සරහින් තියෙන හරි ලකුණ උඩ ක්ලික් කරලා මේ විදිහට හිස් කරලා Finish බොත්තම ක්ලික් කරන්න.

මේ වෙද්දි අපි කාලසටහන් සකස් කිරීමේ මෘදුකාංගය අපේ පරිගණකයේ ස්ථාපනය කරගෙන අවසානයි. ඔබේ ඩෙස්ක්ටොප් එකේ මෘදුකාංගයට අදාළ අයිකනය පෙන්නුම් කරනවා ඇති. ‌ටිකක් ඉන්න! දැන්ම මෘදුකාංගය විවෘත කරන්න එපා. හේතුව තමයි, තවම මෘදුකාංගය ලියාපදිංචි කරල නැති නිසා ඊට කලින් වීවෘත කලොත් දෙවෙනි ක්‍රමයට ලියාපදිංචි වෙන අයට ගැටලුවක් ඇති වෙන්න පුලුවනි. මෙතනදි තමයි මුලින් සඳහන් කරල තියෙන තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔබේ හිතවතාගෙන් සහයෝගය ලබා ගත යුතු අවස්ථාව වන්නේ. එහෙම කරගන්න බැරි උනොත් ඉ‌ඟිය අනුගමනය කරන්න.

දැනුම බෙදා හදා ගනිමු.
ලක්මිණ ජයමාල්

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *