බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු

 බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු

ජීවිතේ කවද හරි ඔබට බනිස් ගෙඩියක් එය ඔතා ඇති කොලයත් එක්කම කාල දාන්න තරම් බඩගින්නක් දැනිල නැද්ද? මට නම් හැමවිටම එහෙමයි. මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් නැතත් අනෙක් අයට නම් අහම්බෙන් හෝ කඩදාසි කැබැල්ලක් කැවීම හරිම අප්‍රසන්න හැඟීමක්.

බොබ්ස් නම් වූ බ්‍රසීලියානු කෙටි කෑම සපයන්නන්ට පින් සිද්ද වෙන්න කඩදාසි කෑම ගැන දැන් ඉතින් මිනිසුන්ට හිත කරදර කර ගන්න උවමනාවක් නෑ. ලංකාවෙ අපට කෙසේ වෙතත් අඩුම තරමෙ බ්‍රසීලියානුවන්ට.

බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු edible burger wrapper

ස්ලේට් ඩොට් කොම් වෙබ් අඩවිය කියන හැටියට නම් අමෙරිකා එක්සත් ජනපදය තුළ විතරක්, පාරිභෝගිකයො කඩදාසි ටොන් මිලියන හැත්තෑ පහක් දෙදහස් එකොළහ වසරේ ඉවත දාල තිබෙනවලු. ඒ ඉවත දැමූ කඩදාසිවලින් සියයට පනහක් පමණ විතරලු ප්‍රතිචක්‍රීකරණය කරල නැවත පරිහරණයට සුදුසු තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙලා තිබෙන්නෙ.

ඔබට හිතේවි කඩදාසි කියන්නෙ දිරාපත් වන දෙයක් නිසා පරිසරයට හානියක් නැති දෙයක්නෙ කියලා. නමුත් කඩදාසි නිෂ්පාදනය කරන්නෙ ශාක යොදාගෙන නිසා ඔබ භාවිතා කර ඉවත දමන සෑම කඩදාසි කැබැල්ලක් ම පරිසරයට හානියක් සිදු කර අවසානයි.

ආහාර ඔතන කඩදාසි අති විශාල වශයෙන් පරිසරයට වදයක් වෙමින් පවතිද්දි විද්‍යාඥයෝ කෑමට සුදුසු හෝ ඛාදනීය කඩදාසි වර්ගයක් සොයා ගැනීමට වසර ගණනාවක් තිස්සෙ සේ මහන්සි ගත්ත.

බඩගින්න වැඩි ද? කෑම ඔතන කොළෙත් කමු edible wrapper 2011 bobs burger

දෙදාස් දොළහෙ ඇරඹුමත් එක්කම වගේ තමන් විසින් එබඳු කෑමට සුදුසු ‘විකීසෙල්ස්’ නම් වූ සෛල වර්ගයක් නිපදවා ඇති බවත් ඒවා කෑම එතීමට, බෝතල් කිරීමට හා පැකට් කිරීමට සුදුසු බවත් ‘හාවඩ් සයන්ටිස්ට්’ සඟරාව ප්‍රකාශ කර සිටියා.

ඒ විතරක් නොවෙයි, අපි කැමති රසයක් ඊට මුසු කරන්නටත් හැකි බව ඔවුන් කියා සිටියා. මේ සොයා ගැනීමෙන් වසරක් යන්නත් මත්තෙන් තමයි බොබ්ස් කියන බ්‍රසීලියානු ක්ෂනික ආහාර සපයන්නෝ, ඔවුන්ගෙ ආහාරයට ගත හැකි කඩදාසිය හඳුන්වා දුන්නෙ.

බොබ්ස්ලා හාවඩ් සයන්ටිස්ට් සඟරාවෙ තොරතුරු අනුව මේ කඩදාසි මිලට ගත්තද නැද්ද යන්න පැහැදිලි නැතත්, වඩා පැහැදිලි එකම සත්‍ය නම්, බොබ්ස්ගෙන් බනිස් කන පාරිභෝගිකයින් නම් කඩදාසියත් රස කර කර කන බවයි. සාමාන්‍ය කඩදාසියක් වගේම පෙනෙන මේ කන කඩදාසි මොන තරම් සාර්ථකද කිව්වොත්, බොබ්ස් හි සේවකයන් කියන හැටියට නම් ඔවුන් දෙන එක කඩදාසි කැබැල්ලක්වත් දැන් පාරිභෝගිකයන් ඉවත දාන්නෙ නැතිලු. ඔක්කොම කනවලු.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.