තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි.

 තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි.

තොරතුරු තාක්ෂණයත් එක්ක ලෝකය දැන් ඉතාම වේගයෙන් ඉදිරියට ගමන් කරන කාලයක් බව ඔයාල දන්නවා. ඉතින් අනාගතයෙදි පණිවිඩ හුවමාරුව සඳහා ලිපි තැපැල් කිරීම නැති වෙලාම යන්නත් ඉඩ තියෙනවා. ඒ වෙනුවට ලිපියක් ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ යැවීමට සිදු වේවි. දැනටමත් සමහරවිට ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් තියෙනවනම්, ලිපියක් යැවීමට ඒක කොච්චර පහසුවක්ද කියලා ඔයාල දන්නවා.

මේ කියල දෙන්න හදන්නෙ පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට උනත් තමන්ටම කියලා ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න විදිහයි. අනාගතයෙදි රැකියාවකට ඉල්ලුම් කරද්දි එහෙම තමන්ටම කියලා ඊ‌මේල් එකක් තියෙන එක ලොකු වටිනාකමක් එකතු කරනවා. විශේෂයෙන්ම ඔයාගෙ රැකියා ඉල්ලුම්පතටත් ඒක ඇතුළත් කරන්න පුලුවනි. ඒ අනුව ඔයා ඊමේල් භාවිතා කරන, තොරතුරු තාක්ෂණයේ යම් ඉදිරි පියවරක් තැබූ අයෙක් බවට හඳුනා ගන්නවා.

ඇත්තටම ඊමේල් එකක් හදාගන්න අපිට යම් මුදලක් වැය වෙනවා. නමුත් ඔයාලට එහෙම වියදම් කරන්න සල්ලි නැහැනේ. ඒ නිසා අපි නොමිලේ මෙම සේවය ලබා දෙන gmail භාවිතා කරලා තමයි මේ වැඩේ කරන්නෙ. Gmail කියන්නෙ Google සමාගම නොමිලයේ ලබා දෙන සේවාවක්. එහෙනම් අපි දැන් ඊමේල් ලිපිනය හදන්න පටන් ගනිමු. මෙහි දක්වා තිබෙන පියවර මඟනොහැර පිළිවෙලින් කරගෙන යන්න.

පළමුවෙන්ම ඔයා අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන මෘදුකාංගය/ ඇප් එක විවෘත කරගන්න. මම භාවිතා කරන්නෙ Google chrome වෙබ් බ්‍රවුසර මෘදුකාංගයයි. දැන් මෙතන ක්ලික් කරලා https://mail.google.com වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. දැන් මේ වගේ තිරයක් ලැබේවි.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 45

මේ තිරයේ මම නිල් පාටින් රවුම් කරල තියෙන සිංහල කියන තැන ක්ලික් කලාම ඔයාට ඉංග්‍රීසි, දෙමළ වැනි වෙනත් භාෂාවකට මාරු වෙන්නත් පුලුවනි. ගිණුමක් නිර්මාණය කරන්න කියලා තියෙන තැන මම රතු පාටින් රවුම් කරලා තියෙනවා. ඒක ක්ලික් කරොත් අලුතෙන් ඊමේල් ලිපිනයක් හදාගන්න පටන් ගන්න පුලුවනි. එහෙනම් ගිණුමක් නිර්මාණය කරන්න කියන එක ක්ලික් කරලා අපි ඉස්සරහට යමු.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 46

මට මේ විදිහට ලැබුණා. මට පෞද්ගලිකව ඊමේල් එකක් හදාගන්න අවශ්‍ය නිසා “මා සඳහා” කියලා මම තෝරා ගන්නවා. දැන් විවෘත වෙන්නේ පහත පින්තූරයෙ වගේ තිරයක්.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 47

මම උදාහරණයක් විදිහට සමන් කුමාර කියලා නමක් ගන්නවා. මේකෙ පළමු නම කියන තැනට ඔයාගෙ “සමන්” වගේ තියෙන නමේ මුල් කොටස ඇතුළත් කරන්න. “කුමාර” වගේ ඊළඟ නමේ කොටස හෝ අවසාන වාසගම කොටස ඇතුළත් කරන්න. ඊළඟට තියෙන්නෙ පරිශීලක නාමයක් තෝරා ගන්නයි. ඔබ තෝරාගන්නා නමත් එක්ක @gmail.com කියලා ඇතුළත් වෙලා තමයි ඔයාගෙ ඊමේල් ඇඩ්‍රස් එක නිර්මාණය වෙන්නෙ. ඔන්න උදාහරණයක් විදිහට දීල තියෙන නම පාවිච්චි කරන්නෙ නැතිව තමන්ගෙ නමින් වැඩේ ඉදිරියට කරගෙන යන්න.

පරිශීලක නාමය සඳහා ඉංග්‍රීසි සිම්පල් අකුරු සහ ඉලක්කම් පමණක් භාවිතා කරන්න. සමන් කුමාරට අපි පරිශීලක නාමය විදිහට samankumara කියලා ඇතුළත් කරමු.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 48

ඔයාගෙ පරිශීලක නම ඇතුළත් කරද්දිත් මේ වගේ දෝෂයක් සමහරවිට ලැබෙන්න ඇති. ඒකට හේතුව තමයි වෙන කවුරුහරි දැනටමත් අපි ඇතුළත් කරපු නම යටතේ ඊමේල් එකක් භාවිතා කරන නිසයි. සමාන නම් තියෙන අය ඕන තරම් ඉන්න පුලුවන්නෙ. එහෙනම් අපිට සිද්ධ වෙනවා නම වෙනස් කරලා ඇතුළත් කරන්න.

පරිශීලක නාමය තෝරා ගැනීමේ දී මේ ගැනත් අවධානය යොමු කරන්න.

ඔයාගෙ ඊමේල් ලිපිනය කවුරුහරි කෙනෙක්ට දෙන්න උනොත් ඒක අදාල පුද්ගලයට පහසුවෙන් කියවගන්න සහ මතක තියාගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ. ඒ නිසා පුලුවන් තරම් කෙටි නමක් වෙන එක ගොඩක් හොඳයි. මතක තියාගැනීමට අපහසු සංකේත භාවිතා කරන එක අවම කිරීමත් වැදගත්. අපි සමන් කුමාරගෙ නම වෙනස් කරල බලමු මේ විදිහට. ඔන්න උදාහරණ ටිකක්. samanku / samankuma/ kumarasaman/ samakuma / samakumara ඉතින් මේ වගේ පහසු නමක් යොදා ගන්න පුලුවනි. ඒ වගේ නම් කිහිපයක් උත්සාහ කරලත් වරදිනවනම්, නමත් එක්ක ඉලක්කම් දෙකක් විතර දාල උත්සාහ කරන්න. samankumara2002 වගේ එකක් දැම්මොත් නම් ඊමේල් එක බලන කෙනෙක්ට ඔයා ඉපදුන අවුරුද්දත් හිතාගන්න පුලුවන් වේවි. ඒ වගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් වෙන විදිහට නම දාන්නත් එපා.

මීට අමතව තවත් වැඩිදුර හිතනවනම් ඔයාගෙ තෝරගන්න පරිශීලක නාමයට අපිට සාමාන්‍යයෙන් පැටලෙන අකුරු භාවිතා නොකරන්න පුලුවන්නම් හොඳයි. උදාහරණයක් විදිහට බින්දුව සහ ඕ අකුර, එක සහ එල් අකුර භාවිතයේ දි සැළකිලිමත් වෙන්න. ඔයාගෙ ඊමේල් ඇඩ්‍රස් එක ලියාගන්න කෙනාට “එල්” අකුරත් එක්ක “එක ඉලක්කම” පැටලුණොත් ඔයාට එවන ලිපි ලැබෙන්නෙ නැතුව යනවා. ඒ වගේම හදාගන්න නම කිහිප වතාවක් තනිවම කියවල බලන්න දිව උලුක්කු වෙන්නෙ නැතිව කියව ගන්න පුලුවන්ද කියලත්.

ශක්තිමත් මුරපදයක් හදාගනිමු.

සමන් කුමාරට ඊමේල් එකක් හදාගෙන යනකොට භාවිතා කරන්න තියෙනව කියල මට ලැබුණ පරිශීලක නාමය තමයි kuma33saman කියන එක. දැන් ඒ අනුව සමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක වෙන්නෙ kuma33saman@gmail.com කියලයි. මේක පරිස්සම් තැනක ලියන්න. මීළඟට මුරපදයක් යොදන්න අවශ්‍ය වෙනවා. ඔයාල මේක දන්නවා Password එක කිව්වම.

මුරපදයට සමහර අය තමන්ගෙ හැඳුනුම්පත් අංකය, උපන්දිනය වගේ තොරතුරු ඇතුළත් කරනවා. ඒ වගේ පාස්වර්ඩ් එකක් දාගත්තම ඔයාගෙ ඒ වගේ තොරතුරු දන්න යාලුවන්ට පුලුවන් කිහිප වතාවක් උත්සාහ කරල ඔයාගෙ ඊමේල් එකට හොරෙන් ඇතුල් වෙන්න. ඒ නිසා මුරපදය ඉතාම ආරක්ෂා සහිතව හදාගන්න ඕනෙ. ඒ සඳහා පහත කරුණු ඇතුළත් කරන්න.

  1. ඉංග්‍රීසි කැපිටල් අකුරු කිහිපයක්
  2. ඉංග්‍රීසි සිම්පල් අකුරු කිහිපයක්
  3. @, #, $, !, %, ^, &, * වගේ Symbol කිහිපයක්
  4. ඉලක්කම් කිහිපයක්

මේ තොරතුරු ඇතුළත් කරලා හදාගන්න මුරපදයෙ ඔය කියපු දේවල් කලවම් කරලා භාවිතා කරන්න. එතකොට සේරම අක්ෂර ගණන 8 ත් 15ත් අතර ගාණක් වුණාම වඩා සාර්ථකයි. වැඩිම කරන්නත් එපා මතක තියාගන්න අමාරුයිනෙ.

ඔන්න මම උදාහරණයකට මුරපදයක් පෙන්වන්නම්. Ht%45Rf# ටිකක් හිතල බලන්න මේ වගේ මුරපදයක් කාටවත් අනුමාන කරන්නවත් බැහැ නේද? හැබැයි ඔයා මේක අනිවාර්යෙන්ම කාටවත් නොපෙනන මතක තැනක ලියලා තියාගන්න.

මේ විදිහට හදාගත්තු ඔයාගෙ වටිනා පාස්වර්ඩ් එක මුරපදය කියන තැනට ඇතුළත් කරන්න. ඊළඟට තියෙනවානෙ “තහවුරු කරන්න” කියලා කොටුවක්. ඒකටත් ඔයාගෙ පාස්වර්ඩ් එකම වරද්දන්නෙ නැතිව ඇතුලත් කරන්න. මේ විදිහට ගහන පාස්වර්ඩ් එක තරු සළකුණු වලින් හැංගිලයි තියෙන්නෙ. මුරපදය පෙන්වන්න කියල තියෙන කොටුවට හරි ලකුණ දැම්මොත් පාස්වර්ඩ් එක පෙන්නුම් කරාවි. දැන් ඒ පිටුවේ වැඩ ටික ඉවරයි. “මීලඟ” කියන බොත්තම ඔබන්න.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 49

දැන් ඔයාට උඩ තියෙන විදිහෙ තිරයක් ලැබෙන්න ඇති. ශ්‍රී ලංකා කොඩිය තියන තැන ඉස්සරහින් ඔයාගෙම හෝ අම්මා, තාත්තා, සහෝදරයෙක් වගේ විශ්වාසවන්ත වැඩිහිටි කෙනෙකුගෙ දුරකථන අංකයක් ඇතුළත් කරන්න. “ප්‍රතිසාධන ඊ-තැපැල් ලිපිනය” කියන තැනට කලින් කිව්වා වගේ කෙනෙක්ගෙ ඊමේල් ඇඩ්‍රස් එකක් අහගෙන ඇතුළත් කරන්න.

නමුත් දුරකථන අංකය හෝ ප්‍රතිසාධන ඊ-තැපැල් ලිපිනය ඇතුළත් කිරිම අත්‍යාවශ්‍යම නැහැ. ඒක වැදගත් වෙන්නෙ කවදහරි ඔයාට ඊමේල් එකේ පාස්වර්ඩ් එක අමතක උනොත් ආපහු ඊමේල් එකට යන්න බැරි වෙනවා. ඒ වෙලාවට පාස්වර්ඩ් එක වෙනස් කරන්න අවශ්‍ය උපදෙස් ලැබෙන්නෙ ඔතන දාලා තියෙන දුරකථන අංකයට හෝ ඊමේල් එකටයි. ඒ නිසයි මම කලින් සඳහන් කලේ විශ්වාසවන්ත කෙනෙක්ගෙ තොරතුරුම ඒවට දෙන්න කියලා. නැතුව හන්දියේ කම්පියුටර් කඩේ අයියගෙ ඊමේල් එකයි ෆෝන් නම්බරෙයි දැම්මොත්, එයාට පුලුවන් කවදහරි ඔයාගෙ ඊමේල් එකට හොරෙන් ඇතුල් වෙලා ඔයාගෙ පෞද්ගලික ලියුම් කියවන්න.

ඊළඟට තියෙන කොටු වල ඔයාගෙ නිවැරදි උපන් දිනය දෙන්න. බොරු එකක් දීල තිබිල කවදහරි ඇත්ත එකට වෙනස් කරන්න උනොත් එහෙම කරන්න ගොඩක් අමාරුයි. සමහරවිට ඔයාගෙ ලිපි ලේඛන, දිවුරුම් සහතික වගේ දේවල් ගූගල් සමාගමට යවන්නත් වේවි. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරලා මීලඟ බොත්තම ඔබන්න.

තමන්ටම කියලා පෞද්ගලික ඊමේල් ලිපිනයක් හදා ගන්නේ මෙහෙමයි. Capture 50

දැන් මේ වගේ ලොකු හෑල්ලක් දකින්න ලැබෙනවා. හරි විදිහනම් මේවා කියවල තේරුම් ගන්න ඕනෙ. හැබැයි පුංචි ඔයාලට නම් තේරෙන්නෙ නැතිවේවි. කොහොම නමුත් කිව්වත් නැතත් ඒ පිටුවේ පහලට ගියාම තියෙන “මම එකඟ වෙමි” කියන බොත්තම එබුවොත් විතරයි ඔයාට ඊමේල් එක ලැබෙන්නෙ.

දැන් ඔයාගෙ ඊමේල් එක සකස් වෙලා අවසානයි. අමතක නොකර ඊමේල් ලිපිනයයි, පාස්වර්ඩ් එකයි ලියාගෙන ඇති කියලා හිතනවා. එහෙනම් ඊළඟ ලිපියකින් යාලුවෙකුට ඊමේල් එකක් යවන විදිහ කියල දෙන්නම්. මේ ලිපිය යාලුවන්ටත් බලන්න ශෙයා කරලා එයාලටත් ඊමේල් එකක් හදාගෙන ඉන්න කියන්න. තවත් මෙවැනි එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු හෝ අධ්‍යාපනික ගැටලු තියෙනවනම් පහතින් තියෙන “අප අමතන්න” බොත්තම ඔබලා පණිවිඩයක් යොමු කරන්න.

ලක්මිණ ජයමාල්

https://edutalk.lk

එඩියුටෝක් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.