දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි.

 දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි.

“මහත්තයා, මේ සැරේ කැලැන්ඩර් එහෙම නැද්ද? “

මේ දවස්වල ‘කැලැන්ඩර්’ කියාගත්තු ගමන් ගොඩ දෙනෙක් ඉන්නෙ ළඟ එන නව වසර පිළිගනිමින් තම නිවසේ දින දර්ශනයකින් සරසා ගැනීමටයි. අලුත් අවුරුද්දක් ලබන විට අලුත් විදිහට අලුත් අවුරුද්ද පිළිගැනීමට ලෝකයම සූදානම්. විශ්ව ව්‍යාප්ත විදිහට කාලය මනින ඒකකයක් විදිහට කැලැන්ඩරයක් පාවිච්චි කිරීම සාමාන්‍ය රටාවක්. මේ දිනවල හැම දෙනාගේම උනන්දුව තිබෙන්නේ කැලැන්ඩර එක්රැස් කරන්නයි. වෙලාවකට හිතෙනවා ගෙදර බිත්තිවල හිස්තැන් වහගන්නවත්ද මේ තරම් කැලැන්ඩර් එකතු කරන්නේ කියලා. කාර්යාලවල ඇතැම් අවස්ථාවල කැලැන්ඩර් නිසාම හිත් අමනාපකම් පවා ඇති වෙනවා. ඇත්තටම ගෙදරකට කැලැන්ඩර් දෙක තුනක් හොඳටෝම ඇති. ඒත් අපිට කිසිම සෑහීමක් නැතුව මේ විදිහට කැලැන්ඩර් එකතු කරලා අන්තිමට මොකද වෙන්නේ? ගෙදර කුණු මල්ලට තමයි. කොහොම වුනත් කැලැන්ඩර් ගැන උනන්දුව තිබෙන මේ කාලසීමාවේදී එහි අතීතය ගැනත් දැනගත්තොත් නරක නැහැ නේද?

දිනේ කියන කැලැන්ඩරේ ලෝකෙට ආවේ මෙහෙමයි. A Short History of the Modern Calendar

ග්‍රීක ජාතිකයන් අවුරුද්දක් වෙනුවෙන් තිබෙන දින ගණන 304 ක් විදිහට සැලකුවා. ඒ නිසාම ග්‍රීක කැලැන්ඩරයේ තිබුනේ මාස දහයක්. එක් මාසයකට දින තිහක් ඇතුලත් වුණා. මේ අවුරුද්ද පටන් ගත්තේ මාර්තු මාසයෙන් වුන අතර ජනවාරි සහ පෙබරවාරි මාස එහි සඳහන් වුනේ නැහැ.

මේ දින දර්ශනය ක්‍රි.පූ. 46 වෙන තෙක්ම පැවැතුනා. අතීතයේදී දින දර්ශනය නිර්මාණය කරන්න පල්ලියෙන් බොහොම හොඳ අනුග්‍රහයක් ලැබුණා.

ජුලියස් සීසර් රාජ්‍යත්වය ලබා ගැනීමෙන් පසුව ඔහුට මේ පල්ලියේ අනුග්‍රහය ගැන ඒ තරම් සෑහීමක් තිබුනේ නැහැ. පූජක පක්ෂය විසින් නිර්මාණය කරන ලද කැලැන්ඩරයේ ගිම්හාන මාසය යෙදී තිබුනේ වසන්ත මාසයටයි. ඔහුට මෙය වෙනස් කරන්න අවශ්‍ය වුන නිසා තාරකා විද්‍යාඥ ”සොසිජින්ස්”ගේ සහයෝගයත් ලබා ගත්තා.

ඔහු විසින් සංශෝධනය කරන ලද දින දර්ශනයේ වසරේ ආරම්භයට ජනවාරි මාසය යොදා ගත්තා. මේ වෙන තෙක් පැවැති මාර්තු මාසය අවුරුද්දේ තුන්වැනි මාසය බවට පත් වුණා. හැම අවුරුදු හතරකටම වරක් පැමිණෙන වසරකට දින 366 ක් එක් කරනු ලැබුවා. සෙසු වසරවල් දින 365 කට සීමා වුණා. මේ නිසා ක්‍රි. ව 1528 වසරේදී අවුරුද්දක දින ගණන 365 1/4 ක් ලෙසින් තීරණය වුණා.

ජුලියස් සීසර්ට තමන් වෙනුවෙනුත් මාසයක් අවශ්‍ය වුනා. ඒ නිසා ඔහු හත්වැනි මාසය ඔහුගේ නම සිහිපත් කරනු වස් ”ජූලි” යනුවෙන් නම් කරනු ලැබුවා. ඒ මාසයට දින 31 ක් ඇතුලත් කළා.

සීසර්ගෙන් පසුව රාජ්‍යත්වයට පත් ඔගස්ටස් සීසර් ජුලියස් සීසර්ට දෙවැනි නොවන විදිහට අටවැනි මාස ඔහුගේ නමින් ඕගස්ට් ලෙසින් නම් කලා විතරක් නොවෙයි, දින ගණන 31 ක් විදිහට නම් කළා.

හැම දෙයක්ම න්‍යායට වඩා ක්‍රියාත්මක වීමේදි ගැටළු ඇති වෙනවා. දිනදර්ශනයේත් විවිධ ගැටලු මතු වෙන විට සංශෝධනයට කාලය පැමිණියා. හැබැයි මේ ජුලියන් දින දර්ශනය අවුරුදු දහසක කාලයක් තුල මතු වුන දෝෂ ගණන අටක් වී තිබුණා.

13 වැනි ග්‍රෙගරි පාප්වහන්සේට මේ දිනදර්ශනය සංශෝධනය කිරීම අවශ්‍ය වුණා. ”ක්ලේවියස්” තාරකා විද්‍යාඥයාගේත් අදහස් මත සකස් කරන ලද මෙම කැලැන්ඩරය ”ග්‍රෙගරියානු කැලැන්ඩරය” මුල් කාලයේදී රෝමානු කතෝලික රටවල්වලට පමණක් සීමා වුණා. .ප්‍රොතෙස්තන්ත හා පෙරදිග ක්‍රිස්තියානි රටවල් පැරණි කැලැන්ඩරය මත යැපෙන්න හිතුවා. එංගලන්තය ග්‍රෙගරියානු කැලැන්ඩරය භාවිතා කිරීමට 1752 වසරේ තීරණයක් ගත්තා. ග්‍රෙගරියානු කැලැන්ඩරය සමඟ ලෝකයේ විවිධ විදිහට භාවිතා වුන දිනයන් අතර ඒකාත්මික බවක් ඇති වුණා. සමහර රටවල් මේ වෙන විට නත්තල් දිනය විදිහට දෙසැම්බර් 24 යොදා ගෙන සිටියත් මේ කැලැන්ඩරය සමගම දෙසැම්බර් 25 නත්තල් දිනය යන අදහස අවිවාදයෙන්ම පිලිගත්තා. ලෝකයේ තවත් තැන් තැන්වල මාර්තු මාසයෙන් පටන් ගත් අවුරුද්ද වෙනුවට ජනවාරි පළමුවැනි දින වසරේ ආරම්භය බවට වූ පොදු පිලිගැනීමත් ඇති වුනා.

කැලැන්ඩරයේ කොළ සමගම දින දින වයසට යන අපේ ජීවිතයේ කාලය ගණනය කරන මානයක් ලෝකයට එකතු වුණේ ඔන්න ඔය විදිහටයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා

පුවත්පතක නම පළ කර ගැනීමේ සිහිනයක් කුඩා කාලයේ පටන්ම පැවැතුණි. වෘත්තියෙන් පුස්තකාලයාධිපති ලෙසින් වෘත්තිමය ජීවිතය ඊට තවත් උපකාරී විය. පොත් පත් අතරේ සිටින විට කියවන ලියන උනන්දුව තව තවත් වැඩි වීය. මේ පරිසරය නිසාම විවිධ පුවත්පත් සඟරා සහ වෙබ් පිටු වෙත විහේෂාංග ලේඛිකාවක ලෙසින් කටයුතු කිරීමට ලැබීම සැබෑම වාසනාවක් සේ සලකමි.

මෙම ලිපි කියවීමටත් ඔබ කැමති වේවි...

Leave a Reply